Latestදේශීය

දේශපාලනඥයින් 6කට කොළඹ සුපිරි නිවාස සංකීර්ණ හිමිවුනේ කොහොම ද? පුළුල් පරීක්ෂණ අරඹයි

කොළඹ සහ ඒ අවට පිහිටි ඉඩකඩම් මිල අධික ප්‍රදේශවල ඉදිකර ඇති නිවාස සංකීර්ණ සහ සුපිරි වෙළෙඳ සංකීර්ණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් ඒකාබද්ධව සිදුකරනු ලබයි.

වාර්තා වන පරිදි, අමාත්‍ය ධුර දැරූ හය දෙනෙකු මෙම දේපළ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සැකපිට නම් කර ඇත. ඔවුන් විසින් කොළඹ, පාර්ලිමේන්තු මාවත අවට, කොල්ලුපිටිය සහ බම්බලපිටිය වැනි ප්‍රදේශවල ඉදිකර ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණ සහ නිවාස සංකීර්ණ සඳහා රුපියල් කෝටි ගණනක් වැය කර ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇත.

මෙම මිලදී ගැනීම් සඳහා භාවිත කර ඇති මුදල්වල නීත්‍යානුකූලභාවය පිළිබඳව මේ වන විට විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

මෙම දේශපාලඥයන් මෙවැනි දේපල හිමිකර ගැනීම සඳහා අවශ්‍ය මුදල් උපයා ගත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ සිදුකෙරේ.

ඔවුන්ගේ ආදායම් මාර්ග සහ දේපළවල වටිනාකම පිළිබඳව විස්තරාත්මකව සොයා බැලෙන බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති. මෙම පරීක්ෂණ මගින් මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් සම්බන්ධයෙන් ද සොයා බලනු ඇත.

මෙම පරීක්ෂණ අවසානයේදී, අදාළ දේශපාලඥයන් සහ සෙසු පුද්ගලයන් විසින් අත්පත් කරගත් දේපළ පිළිබඳව මූල්‍යමය තක්සේරුවක් සිදුකිරීමට නියමිත අතර, එහිදී ඔවුන්ගේ ආදායම් මාර්ග සහ මෙම දේපළ අත්පත් කරගැනීම අතර පවතින විෂමතා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරනු ඇත.

මෙම ඒකාබද්ධ පරීක්ෂණය ඔස්සේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කෙරේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *