Latestදේශීය

කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගත් බවට නිල වාර්තා නැහැ – එෆ් යූ වුට්ලර්

අපරාධ කල්ලි සාමාජිකයන්වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත යන සැකකරුවන් මැලේසියාවේ අත්අඩංගුවේ සිටිනා බවට වන කිසිදු රාජතාන්ත්‍රික මට්ටමේ හෝ ආරක්ෂක අංශ තොරතුරක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් මැලේසියාවට සහ තායිලන්තයට පිටත්ව ගොස් ඇත්තේ මැලේසියාවේදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 26 දෙනෙකු පිළිබඳ විමර්ශනයට වන අතර එම නාම ලේඛනයේ මෙම සැකකරුවන් දෙදෙනාගේ නම් අන්තර්ගතව නොමැති බවය.

මැලේසියාවේ දී විවිධ වැරදි සඳහා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය දැනුම්වත් කර ඇතැයි ද සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා වැඩිදුරටත් පැවසීය.

අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරුණි.

ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ඔවුන්ව මැලේසියාවෙන් පිටුවහල් කරන්නේ ද නැතිනම් ඉදිරි විමර්ශන සිදුකරන්නේ ද යන්න පිළිබඳව එරට රජය විසින් තීරණය කරනු ඇති බවත් සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.

පසුගිය ජූලි මස 11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික මධ්‍යම කාර්යාංශයට මැලේසියාවෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට තොරතුරු ලැබුණු බවත් ඔවුන්ව හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ සහාය පතන බවටත් පණිවුඩයක් ලැබුණු බව සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියේය.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප, ඇඟිලි සලකුණු යන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා අපරාධ ලේඛනාගාරයට යොමුකර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේ අවස්ථාවක් උදාවු බවද පැවසු සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා, ඒ අනුව අවුරුදු 20ක එක් සැකකරුවෙකුගේ අනන්‍යතාවය තහවුරු කරගත් බවත් පැවසීය.

අදාළ සැකකරු සම්බන්ධයෙන් මැලේසියාට දැනුම්දීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් එරට ආගමන විගමන නීති අනුව ඉදිරි පියවර ගනු ඇතැයි ද සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා කියා සිටියේය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *