මැදමුලන වලව්වේ දඩ බල්ලා – ජුලම්පිටිය අමරේ
(නුවන් ඉෂාර මහගමගේ)
ජූලම්පිටිය අමරේට පසුගියදා මරණ දඬුවම හිමි උනා. ඒ ඔහු විසින් ම ගොනුකල අභියාචනයක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරු ව.
ජූලම්පිටිය අමරේ කියන්නෙ ලංකාවෙ මෑතකාලීන ව සිටි දේශපාලනික බලය වැඩි වශයෙන් ම තිබූ පාතාල නායකයා. 2019 දී තංගල්ල මහාධිකරණය විසින් අමරේට මරණ දඬුවම නියම කෙරුවා. මේ මරණ දඬුවමට එරෙහි ව 2019 දි ම ඔහු අභියාචනය කෙරුවා. අන්න ඒ අභියාචනයේ තීන්දුව තමයි මේ විදිහට 2024 නොවැම්බර් 18 දින ලැබුනෙ. (ඒ නඩුව ගැන මේ ලිපියට සමාන වෙනස් ලිපියක් මම 2024 දි පළ කෙරුවා.)
මරණ දඬුවම දෙන්න හේතු උනේ ඔහු විසින් වෙඩි තබා සිදුකළ ඝාතන දෙකක්.
2012 ජූනි 06 වැනිදා තංගල්ල කටුවන ප්‍රදේශයේදි ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනහමුවක් සංවිධානය කෙරුවා. මේ රැස්වීමෙ ප්‍රධාන කතිකයා උනේ වෛද්‍ය නලින්ද ජයතිස්ස. වර්තමාන සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති. මේ රැස්වීම තිබුනු තැනට ජූලම්පිටිය අමරේ සහ තවත් කිහිප දෙනෙකු යතුරුපැදිවලින් කඩා වැදුනා. ටී 56 ගිනි අවියකින් රැස්වීමෙ හිටපු අයට වෙඩි තිබ්බා. මෙහිදී රැස්වීමට පැමිණි ජවිපෙ ආධාරකරුවෙක් සහ ආධාරකාරිණියක් මිය ගියා. තවත් අයෙක් බරපතළ තුවාල ලැබුවා. අදාල ස්ථානයේ තිබුනු දේපළවලටත් දැඩි හානි සිදු උනා.
මේ සියලු වරදවල් සළකා බලා 2019 දි තංගල්ල මහාධිකරණය විසින් මූලික චෝදනා 9කට ජූලම්පිටිය අමරේ වැරදිකරු බව තීරණය කෙරුවා.
ඒ චෝදනා අතරින් කීපයක් තමයි,
1.නීති විරෝධී ව රැස්වූ කණ්ඩායමක සාමාජිකයෙකු වීම (තුවාල සිදු කිරීමේ පොදු අරමුණක් සහිතව රැස්වූ පස් දෙනෙකු හෝ ඊට වැඩි කල්ලියක්)
2.එදිරිමාන්නගේ මාලිනී යන අය ඝාතනය කිරීම, ජයසේකර පතිරණගේ නිමන්ත හේෂාන් යන අය ඝාතනය කිරීම.
3.නෙත්තසිංහ ලියනගේ සුජිත් තරංග යන අයට බරපතළ තුවාල සිදු කිරීම, නෙත්තසිංහ ලියනගේ රංජිත් යන අයට අයත් දේපළට දැඩි හානි සිදු කිරීම.
ඒ අනුව 2019 නොවැම්බර් 7 වැනිදා අමරේට වෙන වෙන ම දඬුවම් නියම කෙරුවා. මිනී මැරුම් දෙක වෙනුවෙන් තමයි මරණ දණ්ඩනය ලැබුනේ.
අභියාචනය විභාග කරද්දී පහත කරුණු හෙළි උනා.

2012 ජූනි 15 වැනිදා රෑ 6.30ට තමයි ජවිපෙ රැස්වීම පටන් ගත්තෙ. මේ රැස්වීමට මිනිස්සු 65-70 ක් පමණ ඇවිත් හිටියා. එහෙම ආපු අය කීප දෙනෙක් ම මේ නඩුවට සාක්ෂි දෙන්නත් පසුකාලයක ඉදිරිපත් උනා. මෙහෙම සාක්ෂි දීපු අය අතර වෛද්‍ය නලින්ද ජයතිස්සත් හිටියා.
රැස්වීම අතරමැදදි මෝටර් සයිකල් කිහිපයකින් ආපු ජූලම්පිටිය අමරේ ඇතුලු කට්ටිය ටී 56 අවියකින් වෙඩි තියන්න පටන් ගත්තා. ඔහු මෙහෙම කියා කෑ ගැහුවා.
“මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන්නන් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්“
මේ ප්‍රකාශය සාක්ෂි හරහා තහවුරු කරගැනීමෙන් පසුව නඩු වාර්ථාවට පවා ඇතුලත් කෙරුනා.
අමරේ මේ වෙඩි තැබීම කෙරුවෙ මුහුණු ආවරණයක්වත් නැතිව. අමරේට තිබුනු බලය පැහැදිලි කරගැනීමට කටුවන පොලිසිය මේ සිදුවීමේදී හැසිරුණු විදිහත් හොඳ උදාහරණයක්.
වෙඩි තැබීම විනාඩි 30ක් විතර එකදිගට සිද්ධ උනා. වෙඩි තැබීම අවසන් වෙලා විනාඩි 10කට පස්සෙ තමයි කටුවන පොලිස් ස්ථානාධිපති ඇතුලු පිරිසක් මේ ස්ථානයට ආවෙ. කටුවන පොලිසිය පිහිටා තියෙන්නෙ වෙඩි තැබීම වූ ස්ථානයේ ඉඳන් කිලෝමීටර එකහමාරක දුරින්.
ඒ වගේම මේ වෙඩි තැබීම සිදුකරන වෙලාවෙ කටුවන පොලිසියට ගත්තු කිසිම කෝල් එකක් පොලිසියෙන් ආන්ස්වර් කරලා නෑ. සිද්ධිය අවසන් උනාට පස්සෙ එතැනට ආපු පොලිස් ස්ථානාධිපති රැස්වීම සංවිධානය කළ අයට බැණ වැදුනා. ඒ රැස්වීමක් සංවිධානය කිරීම ගැන. ඒ වෙද්දිත් දෙන්නෙක් එතැන ම මිය ගිහින්. එක්කෙනෙක් බරපතළ තුවාල ලබලා.
මේ සිදුවීම් සියල්ලට ම පස්සෙ සිද්ධිය ගැන පැමිණිල්ලක් දාන්න වින්දිතයින් කිහිප දෙනෙක් පොලිසියට ගියා. එතැනදී කටුවන පොලිසියෙන් මේ පැමිණිල්ල භාරගැනීම ප්‍රතික්ෂේප කෙරුවා. පැමිණිලිකරුවන් පැයක් පමණ පොලිසිය තුළ රැඳී හිටියා. පැයක ප්‍රමාදයකින් පස්සෙ පොලිසිය විසින් පැමිණිල්ල භාරගත්තා.

ඔය සඳහන් සෑම සිද්ධියක් ම නඩුවේදී ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් සනාථ කරපුවා.
අමරේ මේ සිදුවීමෙන් පස්සෙ අධිකරණය මඟහරිමින් කාලය ගත කෙරුවා. නමුත් දින කිහිපයකින් අත් අඩංගුවට පත් උනා. 2012 ජූනි 22 ඔහුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරුවා.
මේ වෙද්දිත් අමරේට අපරාධ රාශියක් ගැන චෝදනා එල්ල වෙලායි තිබුනෙ. ඒ මිනීමැරුම් 24 ක් (2012 වනවිට), ස්ත්‍රී දූෂණ 11ක් (2002 වනවිට) සහ මංකොල්ලකෑම් 15 ක් සිදුකිරීම සම්බන්ධයෙන්.
ඒ කිසිවකට අමරේ ව නීතියේ රැහැනට කොටු කරගෙන තිබුනෙ නෑ.
වෙඩි තැබීමෙන් පස්සෙ අදාල ටී 56 අවිය අමරේ විසින් සඟවා තැබුවා. මේ අවිය පොලිස් විමර්ශනවලදී සොයාගෙන ගොඩ ගත්තා.
වෙඩි තැබීම සිදුකරන අවස්තාවේ ජීවිතාරක්ෂාව පතා දිවගිය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ දුරකතනය එතැනදී අතුරුදන් උනා. මේ දුරකතනය අමරේ විසින් සොරකම් කොට පසුව තවත් අයෙකු අතට පත් කෙරුවා. අධිකරණයේදී මෙම දුරකතනය තමන්ගේ නැති වූ දුරකතනය බව නලින්ද ජයතිස්ස විසින් හඳුනාගත්තා.
අමරේ දෙන්නෙක් ව මරලා, තවත් අය තුවාල කරලා, දේපළ හානි කරලා යනගමන් වැටිච්ච ෆෝන් එකකුත් හොරකම් කරගෙන තමයි ගියෙ. ඒවා ඔහුට විරුද්ධව එකතුවන සාක්ෂි බවවත් ඔහු ගණන් ගෙන තිබුනෙ නෑ.
අමරේ වෙඩි තැබීම අවසන් කරලා එතැනින් පිටවුනේ ඔහුට දුරකතන ඇමතුමක් හරහා පැමිණි නියෝගයකට පසුවයි.
මේ සියල්ල මහාධිකරණය තුළ දී මෙන් ම අභියාචනාධිකරණය තුළදීත් නැවත වරක් තහවුරු උනා. ඒ අනුව තමයි මහාධිකරණය විසින් ලබාදුන් මරණ දඬුවම අභියාචනාධිකරණයත් තහවුරු කෙරුවෙ. ඒ 2024 නොවැම්බර් 18 වැනිදා.
ලංකාව කියන්නෙ සදාචාරාත්මක හේතු මත මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන රටක්. ඒ අනුව ජූලම්පිටිය අමරේ ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත උනා.

නඩු වාර්තාවේ ඇති කරුණු අවසානයි.
ලෝකයේ ඕනෑම රටක මෙන් ම ලංකාවේත් පාතාලය රැකෙන්නෙ දේශපාලනය මත. 1977 දි බියගම පාතාල නායකයා වූ ගෝනවල සුනිල්ට එජාප ආණ්ඩුව සාමදාන විනිශ්චයකාරකමක් දුන්නා. සොත්ති උපාලි එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වූ අයෙක්. බැද්දගානෙ සංජීව චන්ද්‍රිකාගෙ ජනාධිපති ආරක්ෂක අංශ නිළධාරියෙක් ලෙස කටයුතු කෙරුවා. මේ ලිපියෙ පළමුවෙනි කමෙන්ට් එකේ තියෙයි ඡායාරූපයක්. ඒකෙ නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයා ලෙස කලු පැහැ ඇඳුමින් සැරසී ඉන්නේ ජූලම්පිටියෙ අමරේ.
ඔහු ගැන මාධ්‍ය විසින් වාර්ථා කළ දරුණු ම ක්‍රියාවකින් මේ ලිපිය අවසන් කරන්නම්. කෘෘරත්වය ගැන අධි සංවේදී අය මේ පහළ ඡේදය කියවන්න එපා !
2008 යුධ සමරුව අතරතුර ජූලම්පිටිය අමරේ විසින් එක්තරා මහලු පියෙක් ව ඝාතනය කර දැමුවා. ඊට හේතු ව අතිශය ඛේදනීය යි. 1988 වසරේදි අමරේ විසින් හමුදා සෙබලෙකුගේ ගෙල කපා මරා දැම්මා. මේ ඝාතනයට වසර 20 ක් සැපිරුනේ 2008 දි. අන්න ඒක සමරන්න තමයි මේ හමුදා සෙබලාගේ ම මහලු පියාව අමරේ විසින් එදා ඝාතනය කොට තිබුනෙ.
(වැඩිදුර කියවන අය සඳහා නඩුවේ යොමු අංකය: CA/HCC/414/2019)