ශාන්ත මුදුන්කොටුව ඝාතනය පාතාල කල්ලියකින්
පැනගියේ වෙඩික්කරුද?
ඝාතකයින් පැමිණි මෝටර් රථය රියැදුරු හා ගිනි අවියත් සොයා ගනී
මීගොඩ ගැහැනුවල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූ ශාන්ත මුදුන්කොටුව මහතා (46) ඊයේ (12දා) මහදවල් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ලලිත් කන්නන්ගරගේ පාතාල කල්ලිය විසින් බවට පොලිසිය සැකකරයි.
පාතාල කල්ලි නායක ලලිත් කන්නංගර සහ හඳයා අතර පවතින ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම ඝාතනය සඳහා කුලී ඝාතකයන් පැමිණි මෝටර් රථය පැදවූ රියැදුරු ඊයේ අත්අඩංගුවට ගත් අතර ප්‍රහාරය සඳහා යොදාගත් පිස්තෝලය මහමග දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
ප්‍රහාරය සඳහා පැමිණි කුලී ඝාතකයා සහ රියැදුරු මෝටර් රථය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෝටර් රථයකින් ලුහුබැඳ පැමිණි කුලී ඝාතකයන් මුදුන්කොටුවගේ මහතාගේ පපුව ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇත. එහිදී බරපතළ තුවාල ලැබූ ඒ මහතා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මුදුන්කොටුවගේ මහතාගේ මස්සිනා වන ගගන නමැත්තා මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයකු වන අතර ඔහු මේ වනවිට විදෙස්ගතව සැඟවී සිටින බව පොලිසිය පවසයි.
හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.
@දිවයින