නලීන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
2015 ජනාධිපතිවරණ සමයේදී එම මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා කැරම් හා දාම් බෝඩ් 28,000ක් මැතිවරණ කාර්යාලවලට බෙදාහැර රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පළමු වැනි විත්තිකාර හිටපු අමාත්‍ය නලින් රුවන්ජිත් ප්‍රනාන්දු මහතාට නඩු විභාගය පැවැත්වෙන දිනවලදී පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ (04දා) ප්‍රතික්ෂේප කළේය.
සාමාන්‍ය ක්‍රියාපටිය අනුව නඩුව කැඳවන සෑම අවස්ථාවකදීම විත්තිකරුවකු අධිකරණය හමුවේ භෞතිකව පෙනී සිටිය යුතු බවත් විශේෂ ව්‍යාතිරේක අවස්ථාවකදී හැර එකී ක්‍රියාපටිය බැහැර කර කටයුතු කිරීමේ හැකියාව නොමැති බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදු කළැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුව ඊයේ කැඳවිණි. වෙනත් නඩුවක චෝදනාවලට වරදකරුවන් කළ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සිරදඬුවම් නියම කර තිබූ පළමු හා දෙවන විත්තිකරුවන් වන නලින් ප්‍රනාන්දු හා මහින්දානන්ද අලුත්ගමගේ යන දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එසේ නමුත් තුන් වැනි විත්තිකාර නන්ද මල්ලවආරච්චි මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අසනීප තත්ත්වයකින් පසුවන ඔහු වාහනයකින් අධිකරණ භූමියට පැමිණ ඇතත් එකී රෝගී තත්ත්වය නිසා විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ඔහු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 වන වගන්තිය යටතේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබාදෙන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටි විත්තියේ නීතිඥවරයා ඒ සඳහා විත්තිකරු ඇටෝර්නි බලපත්‍රයක් මගින් ලබාදී තිබූ අවසර පත්‍රය හා වෛi වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය. නිසි පරිදි වෛi වාර්තා ඉදිරිපත් කර තහවුරු කර එම ඉල්ලීම කරන ලෙසට විත්තියේ නීතිඥවරයාට දැනුම්දුන් මහාධිකරණ විනිසුරුවරයා වෛi වාර්තාවක් ඉදිරිපත් කර ඇති බැවින් විත්තිකරුට වරෙන්තු නිකුත් නොකරන බව ද කීය. නීතිපතිවරයා විසින් එකී නඩු පැවරීම හා එම වඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතිඥවරයා තම අධිකරණයට මින් පෙර කර තිබූ දැනුම්දීම සම්බන්ධයෙන් වාචික දේශන ලබන ඔක්තෝබර් 10 වැනිදා පැවැත්වීමට දින නියම කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එදිනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පළමු හා දෙවැනි විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය. සති දෙකක කාලයක් ඇතුළත විත්තියට ලබාදිය යුතු නඩුවට අදාළ සියලු ලේඛන භාරදීමට පියවර ගන්නා ලෙසට ද විනිසුරුවරයා නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.
නීතිඥවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා දෙවැනි විත්තිකරු වෙනුවෙනුත් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් මහතා පළමු වැනි විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙනුත් පෙනී සිටියහ. තුන් වැනි විත්තිකාර විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ සංජය මාරඹේ හා නීතිඥ ගීත් කරුණාරත්න යන මහත්වරු පෙනී සිටියහ.
@දිවයින