Latestවිදේශීය

රුසියානු ප්‍රහාරයෙන් යුක්‍රේනයේ කැබිනට් ගොඩනැගිල්ලට බරපතල හානි

රුසියාව විසින් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයකින් යුක්‍රේන රජයේ ප්‍රධාන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාව විසින් මෙම ප්‍රහාරය සඳහා මිසයිල සහ ඩ්‍රෝන යානා යොදාගෙන ඇති බවත් එමගින් ඔවුන් කියෙව් නගර මධ්‍යයේ ඇති ගොඩනැගිලි ඉලක්ක කර ඇති බවත්ය.

එමෙන්ම නගරයේ ඇති මහල් නේවාසික ගොඩනැගිලි කිහිපයකටම රුසියාව විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකටම අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත්  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර හේතුවෙන් මේ වනවිට යුක්‍රේනයේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිව් රිහ් වෙතද රුසියාව ප්‍රහාර එල්ල කර ඇති බවයි.

යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රහාර සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ රුසියාව විසින් එක් රැයක් තුළ ඩ්‍රෝන යානා 805ක් සහ මිසයිල 13ක් එල්ල කළ බවය.

එම ඩ්‍රෝන ප්‍රහාර 751ක් වෙඩි තබා බිම හෙලීමට යුක්‍රේන ගුවන් හමුදාව සමත් වූ බවද ඔවුන් සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සටන් විරාමයකට එකඟ වීමෙන් පසු යුක්‍රේනයට සාම සාධක හමුදා යැවීමට එරෙහිව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් සිදුකර ඇති අනතුරු ඇඟවීමත් සමඟ මෙම ප්‍රහාර එල්ල වී ඇති බවය.

යුක්‍රේනයට සාම සාධක හමුදා යැවීම සම්බන්ධව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටවල්වලට අනතුරු අඟවා තිබූ අතර එමගින් රුසියානු ජනාධිපතිවරයා පවසා තිබුණේ එම හමුදා රුසියානු ඉලක්ක විය හැකි බවටයි.

කෙසේ නමුත් අද එල්ල වී ඇති මෙම ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ කියෙව්හී පිහිටි කැබිනට් ගොඩනැගිල්ලට හානි සිදුව ඇති බව යුක්‍රේන අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝ නිල වශයෙන් තහවුරු කර තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *