Latestදේශීය

අයිස් නිෂ්පාදන කම්හල් දෙකක් සොයාගනී

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලිය නුවරඑළිය සහ කඳාන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා දෙකක් ස්ථාපිත කර තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත. කඳාන දුම්රියපළ පාරේ සුවිසල් නිවසක පද්මේ ඇතුළු කල්ලිය විසින් මෙම අයිස් නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකිරීමට කටයුතු කර තිබූ බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම කර්මාන්තශාලාව ස්ථාපිත කර තිබූ නිවස ඉදිරිපිට අයිස් නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150ක් පමණ වළ දමා තිබිය දී පොලිසිය විසින් පෙරේදා (07 දා) රාත්‍රියේ සොයාගෙන තිබිණි.

පෙරේදා (07දා) කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හා කඳාන පොලිසිය එක්ව මෙම නිවස පරීක්‍ෂා කිරීමේ දී එහි ගෙවත්තෙහි මල් පාත්ති මත මෙම සුදුපැහැති ගල් විශේෂය අතුරා තිබී ඇත. එසේම නිවස පිටුපස පිහිටි වගුරු බිමක තිබී මෙම ගල් වර්ගය පිරවූ ගෝනි 10ක් සමග සොයාගෙන තිබේ.

පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම නිවස හිමි කාන්තාවගෙන් ක්‍රිෂාන් නමැති අයකු මීට මාසයකට පමණ පෙර මෙම නිවස කුලියට ගෙන ඇති බවයි. ඒ වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් ලක්‍ෂ 13ක් පමණ ඔහු ගෙහිමි කාන්තාවට ගෙවා ඇත. මාසිකව රුපියල් ලක්‍ෂ 1 1/2 ක මුදලක් කුලී වශයෙන් ගෙවීමට ක්‍රිෂාන් නමැත්තා පොරොන්දු වී ඇතත් මිද්දෙණිය ප්‍රදේශයෙන් මෙවැනි ගල් තොගයක් සොයා ගැනීමත් සමග ඉකුත් 06 වැනිදා ක්‍රිෂාන් නමැති පුද්ගලයා ගෙහිමි කාන්තාවගේ පියාගේ නිවසට ගොස් නිවසේ යතුරු භාර දී ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

පසුව එදින සවස තමා නිවස පරීක්‍ෂා කිරීමට පැමිණීමේ දී ගෙවත්තේ මල් පාත්තිවලට සුදු පැහැති ගල් හා කුඩු යොදා තිබුණු බවත් ඒවා ඩොලමයිට් නමැති පොහොර වර්ගය යැයි තමා සිතූ බවත් ගෙහිමි කාන්තාවගේ පියා පොලිසියට පවසා ඇත. කළුතර කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය හා කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය ඉකුත් මස 27 වැනිදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු පසුගිය 03 වැනිදා මෙම නිවස කුලියට ගෙන තිබූ පුද්ගලයා රසායන ද්‍රව්‍ය කිලෝ 150ක් වළ දමා නිවසින් පලාගොස් තිබූ බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

පොලිසිය සැක පහළ කරන්නේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල මැරයන් කඳානේ පිහිටි දෙමහල් සුවිසල් නිවසේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාව පිහිටුවා තිබූ බවයි.

මේ අතර නුවරඑළිය නගරය ආසන්නයේ පිහිටි අනෙක් නිවස ද පොලිසිය විසින් ඊයේ සොයාගත් අතර එම නිවස ද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් එකක් බවට තහවුරු කරගෙන ඇත.

විමර්ශන නිලධාරීන් පවසන්නේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලියේ සැලසුම වී ඇත්තේ කඳානේ සහ නුවරඑළියේ පිහිටි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවල තොග පිටින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඒවා රට පුරා බෙදාහැරීම බවයි.

නුවරඑළියේ පිහිටි නිෂ්පාදනාගාරයේ අයිස් කිලෝග්‍රෑම් 60ක් පමණ මූලික අදියර යටතේ මොවුන් විසින් නිෂ්පාදනය කර, ඒවා රට පුරා බෙදාහැර ඇති බව හෙළි කරගෙන තිබේ.

මිද්දෙණිය, තංගල්ල සහ කඳාන ප්‍රදේශවලදී පොලිසිය විසින් සොයාගත් රසායන ද්‍රව්‍ය පද්මේ ඇතුළු පාතාල කල්ලිය අයිස් නිෂ්පාදනය සඳහා යොදාගැනීමට සූදානම් කර තිබූ ඒවාය. මෙම රසායන ද්‍රව්‍ය ටයිල් නිෂ්පාදනයට බව කියමින් ඉරානයෙන් ආනයනය කර ඇති බව ද මේ වනවිට අනාවරණය වී ඇත.

කන්ටේනර් දෙකක රැගෙන ආ කිලෝ 50,000ක රසායන ද්‍රව්‍ය තොගය මිද්දෙණිය ප්‍රදේශයේ ගබඩා කර ඒවා කොටස් වශයෙන් විවිධ ප්‍රදේශවලට යවා ඇති බවට මේ වනවිට පොලිසිය හෙළි කරගෙන ඇත.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමත් සමගම මෙම රසායන ද්‍රව්‍ය වළ දැමීමට කටයුතු කර තිබූ බවත් සම්පත් මනම්පේරි නමැති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා විසින් එය සිදුකර ඇති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ මෙහෙය වීමෙන් එහි ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පවත්වති.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *