ගාසා තීරය ස්වාධීන පලස්තීන රාජ්‍යයට නම් සටන් විරාමයට සූදානම් – හමාස් සංවිධානය කියයි
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සටන් විරාම ගිවිසුමකට එළැඹීම සඳහා වහාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සාකච්ඡා මේසයට පැමිණීමට සූදානම් බව නිවේදනය කරමින් හමාස් සංවිධානය සඳහන් කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරමින් යුද්ධය අවසන් කිරීම සඳහා ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදාව සම්පූර්ණයෙන්ම ඉවත්වීම සහ නැවත වතාවක් ස්වාධීන පලස්තීන රජයක් ගාසා තීරයේ පාලනය සියතට ගැනීම සිදු වන්නේ නම් සිය පූර්ණ සහයෝගය ලබා දෙන බවය.
ගාසා යුද්ධය අවසන් කිරීමට හමාස් සංවිධානය සිය කොන්දේසිවලට එකඟ විය යුතු බවට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල ආක්‍රමණශිලී ප්‍රහාර නැවැත්වීමට ඕනෑම පාර්ශ්වයකින් ලබා දෙන අවස්ථාවකට එකඟතාව පළ කරන බවය.
සටන් විරාමයක් යටතේ ඊශ්‍රායලය එම කොන්දේසි සපුරාලන බවට සහතික විය යුතු බවත්, පුළුල් ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට එකඟ බවත් හමාස් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වේ.
@දිනමිණ

