සහනාධාර යාත්‍රා 20ක් සමගින් ග්‍රේටා තුන්බර්ග් යළි ගාසා තීරයට
ලෝක ප්‍රකට ස්වීඩන් දේශගුණික ක්‍රියාකාරිනිය ග්‍රේටා තුන්බර්ග් ගාසා තීරයේ අවතැන්වූවන්ට සහනාධාර තොගයක් රැගෙන ෆ්ලෝටිලා සංවිධානය මෙහෙයවනු ලබන නෞකාවකින් යළි ගාසා තීරයට යාත්‍රා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පලස්තීන හිතවාදී සමාජ ක්‍රියාකාරීන් 350 දෙනකු ද ඇය සමඟ මේ සංචාරයට එක්වී සිටින අතර, පෙරේදා එම යාත්‍රාව ටියුනීසියාවට සේන්දු වීමෙන් පසු විශාල පිරිසක් ඇය පිළිගැනීමට පැමිණ සිටි බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රංශ මන්ත්‍රීවරියක වන රීමා හසන් ද එම අවස්ථාවට එක්වූ බව වාර්තා වේ.
ටියුනීසියාවේ සිඩි බෝ සයිඩ් වරායට පැමිණි ග්‍රේටා එහි රැස්ව සිටි අතිවිශාල ජනතාව අමතා ප්‍රකාශ කර ඇත්තේ ගාසා තීරයේ ජන සංහාරය සහ නිරාහාරව මියයෑම් තවදුරටත් සිදුවන බවය. ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිදු කරන නීති විරෝධී වැටලීම බිඳ දැමීම සිය මෙහෙයුමේ ඉලක්කය බව සඳහන් කර ඇති මේ දේශගුණික ක්‍රියාකාරිනිය ගාසා සංහාරයට බටහිර රටවල් සහාය වන බවට ද චෝදනා කර ඇතැයි වාර්තා වේ. ගාසා තීරයේ ජන සංහාරයට සහාය වීම නතර කරන්න. මානුෂීය වෙන්න..’ ඇය බටහිර රටවලින් එසේ ඉල්ලා සිටි බව ද වාර්තා වේ.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව පිහිටුවනු ලැබූ ‘ෆ්‍රීඩම් ෆ්ලොටිලා’ නමැති සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුවන ගාසා තීරයේ සංචාරයට යාත්‍රා 20ක් ඇතුළත් වන අතර, ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ සිට මීට දින කිහිපයකට පෙර ගමන් ආරම්භ කළ බව වාර්තා වේ. ගාසා තීරය බලා යාත්‍රා කිරීමට පෙර ග්‍රේටා තුන්බර්ග් ඇතුළු පිරිස දින කිහිපයක් ටියුනීසියාවේ රැඳී සිටින බවත්, එහිදී අතිරේක ආහාර තොග යාත්‍රාවලට පැටවීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ග්‍රේටා තුන්බර්ග් පසුගිය ජුනි මාසයේදී ද ආහාර තොගයක් රැගෙන ෆලෝටිලා සංවිධානයේ නෞකාවකින් ගාසා තීරයේ සංචාරයක නිරතවූ අතර, එහිදි ඊශ්‍රායල හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන යළි ස්වීඩනය වෙත පිටුවහල් කර තිබිණි.
@දිනමිණ

