Latestදේශීය

කෙහෙළිය ඇතුළු 11කට ඇප

ඇප කොන්දේසි සපුරාලීමට සමාගමේ හිමිකරු 26දා උසාවි ගේන්න නියෝග

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 13ක් යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 11 දෙනකු දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදාහැරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (16දා) නියෝග කළේය.

රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් එක් විත්තිකරුවකුට නියම කළ මහේෂ් වීරමන්, අමාලි රණවීර හා ප්‍රදීප් අබේරත්න යන විනිසුරු මඬුල්ල මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පළමු වන විත්තිකාර ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ සමාගම් හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු නමැත්තා ඇප කොන්දේසි සපුරාලීම සඳහා ලබන 26 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

එදිනට පෙර තම අධිකරණය නියම කළ ඇප කොන්දේසි සපුරාලන ලෙසට ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෙසු විත්තිකරුවන් 10 දෙනාට නියම කළ විනිසුරු මඬුල්ල ඇපකරුවන් ලෙස ඉදිරිපත් අයගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද නියෝග කළේය. එයට අමතරව එම නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුවන් 11 දෙනාටම විදේශ ගමන් තහනමක් ද පැනවීය. ඒ බව ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන් වෙත දන්වා යැවීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළේය.

මේ වනවිට විදේශ ගතවී ඇතැයි කියන එම නඩුවේ 9 වන විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සාක්‍ෂි කැඳවීමට පියවර ගන්නා ලෙසට ද නීතිපතිවරයාට නියෝග කළ විනිසුරු මඬුල්ල එම නඩුව ලබන ඔක්තෝබර් 31 වැනිදා පස්වරු 1.30ට යළි කැඳවීමට ද නියෝග කළේය. තමා තව නොබෝ දිනකින් විශ්‍රාම යන බැවින් හා විනිසුරු මඬුල්ල නියෝජනය කරන තවත් මහාධිකරණ විනිසුරුවරයකු ස්ථාන මාරුවීම් ලබා යන බැවින් විනිසුරු මඬුල්ල සම්පූර්ණ කිරීමට පියවර ගන්නැයි අගවිනිසුරුවරයා වෙත දන්වා යැවීමට ද විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.

එම නඩුව ඊයේ (16දා) පස්වරු 1.30ට අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර ඇති බැවින් නීතිපතිවරයාගේ එකඟතාව නොමැතිව ඔවුන් ඇපමත මුදානොහරින ලෙසත් විත්තිකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වන බවත් අධිකරණයට පැවසුවාය.

විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර ඇතුළු සියලු ලේඛන භාරදීමට සූදානම් වන බව විනිසුරු මඬුල්ලට දන්වා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීමට පියවර ගන්නා ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඒ අනුව විත්ති කූඩුවේ සිටි කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනාට චෝදනා පත්‍ර භාරදීම සිදුකෙරිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විත්තිකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් දැක්වූ විරෝධතාව ප්‍රතික්‍ෂේප කරන ලෙස පළමු වන විත්තිකාර සුගත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා මාස 20ක් තිස්සේ සිය සේවාදායකයා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔහු ඇපමත මුදාහරින ලෙසට විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. දිගින් දිගටම බන්ධනාගාර ගත කිරීම මගින් ඇතිවූ මානසික පීඩනය නිසා ඔහුව මානසික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට අවස්ථා කීපයකදී සිදුවූ බව කියා සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා දඬුවමක් ලෙස යමෙකු රක්‍ෂිත බන්ධනාගාරගත නොකළ යුතු බවද අධිකරණයට පැවසීය.

සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන, ජ්‍යෙෂ්ඨ නීතිඥ අසේල සේරසිංහ, ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න, සරත් ඒකනායක, නුවන් ජයවර්ධන, තීක්‍ෂණ බටගොඩ යන මහත්වරුන් දීර්ඝ ලෙස කරුණු දක්වමින් නීතිපතිවරයා සිය සේවාදායකයන් යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනුයේ ද්වේෂසහගත ආකාරයෙන් බව කියා සිටියහ. සිය සේවාදායකයන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවේ අධිකරණයේ නියෝගය මත පත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය මණ්ඩල කීපයක් ලබාදුන් වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව වන බැවින් ඔවුන්ට යළි ඇප දෙන්නේ නම් සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීම යුක්තිසහගත නොවන බවද විත්තියේ නීතිඥවරු අධිකරණයට පැවසූහ.

පැමිණිල්ලට මෙන්ම විත්තියට සමබරව සැලකීම අධිකරණයේ වගකීම හා යුතුකම බව පෙන්වා දෙමින් කරුණු දැක්වූ දොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා නීතිපතිවරයාගේ එම ඉල්ලීම කණ්ඩායම් දෙකක් ක්‍රීඩා තරගයක් සඳහා පිටියට පැමිණි අවස්ථාවකදී පන්දුවට පහර දෙන ක්‍රීඩකයාගේ දෑත් දෙපා බැඳ තබන ලෙස විරුද්ධ පිලේ ක්‍රීඩකයන් තරග විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටීමක් ලෙස තමා දකින්නේ යැයි ද පැවසීය. සාධාරණ නඩු විභාගයට මුහුණ දීමට නම් සිය සේවාදායකයන්ට ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස් කර දිය යුතුව ඇතැයි ද පැවසූ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා නීතිපතිවරයා සිය සේවාදායකයාට නඩු පවරා ඇත්තේ කුමන හේතුවක් නිසා දැයි සිතාගත නොහැකි බවද පැවසීය.

සිය සේවාදායකයාගේ රෝගී තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය ඊ. සී. ජී, යන්ත්‍රයක් බන්ධනාගාරයේ ඇතත් එය ක්‍රියාත්මක කරනුයේ බන්ධනාගාර ගත වූවකු මිස සුදුසුකම් ලත් වෛද්‍ය කාර්ය මණ්ඩල සේවකයකු නොවන බවද හෙතෙම පැවසීය. විත්තියේ නීතිඥවරුන් කුමන චෝදනා නැගුවත් තම දෙපාර්තමේන්තුව ඉටුකරනුයේ මහජනතාව වෙනුවෙන් හා වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම මිස ද්වේෂසහගත ආකාරයෙන් නොවන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේදී පැවසුවාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (16දා) අධි චෝදනා පත්‍ර භාර දුන්නේය.

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුවේ සැකකරුවන්ට අධි චෝදනා ගොනු කරනු ලැබිණි. එහිදී අධිචෝදනා භාර දීමෙන් අනතුරුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය ඉල්ලා සිටි අතර සැකකරුවන්ගේ නීතිඥවරු ඇප ඉල්ලා දීර්ඝව කරුණු දැක්වූහ.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනකු හා නඩු භාණ්ඩ 300 කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

මේ සම්බන්ධයෙන් පැවැත්වූ මහෙස්ත්‍රාත් අධිකරණ නඩුවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව විත්තිකරුවෝ දහදෙනෙක් මේ වන විට ඇප මත මුදාහැර සිටිති. පළමු විත්තිකරු ලෙස නම් කර සිටින ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තා මේ වන තෙක් රක්ෂිත

බන්ධනාගාරගත කර සිටී. දහ වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදේශගතව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබිණි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *