ලසන්ත වික්‍රමසේකර ඝාතනය සහ යමෙක් ආහාරයට ගන්නා තෘණ වර්ගය
(වරුණ සුදන්ත හේරත්)
මිදිගම ලසා – ලසන්ත වික්‍රමසේකර, වැලිගම ප්‍රාදේශිය සභා සභාපතිවරයා සිය කාර්යාලය තුලදිම වෙඩි තබා ඝාතනය වන්නේය.
පළාත් පාලන ආයතනයක ප්‍රධානියකු මෙලෙස සිය කාර්යාලය තුලදිම ඝාතනය වීම භයානක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ලසන්ත යනු වැලිගම මහජන නියෝජිතයෙකි. ඔහු සිය මිදිගම කොට්ඨාශය ඉහළ ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට සමත් වූ බවද කියැවේ.
එසේම වැලිගම ප්‍රාදේශිය සභාවේ බලය තහවුරු කරගැනීම සම්බන්ධයෙන් නොයෙකුත් හැලහැප්පීම් ගතවූ කාලයේ අසන්නට දකින්නට ලැබිණි. අවසානයෙදි ලසන්ත සභාපතිධුරයට පත් කරන්නට ‘ඒකාබද්ධ විපක්ෂයට’ හැකිවිය.
මින් පෙර මෙලෙස පළාත් පාලන ආයතනයක ප්‍රධානියකු සිය කාර්යාලය තුලදිම ඝාතනයවීමක් වාර්තා වන්නේ 2003 වසරේදිය. ඒ හික්කඩුව නගරාධිපති ගාමිණි ඩික්සන් පින්නදුවගේ ඝාතනයයි.
ලසන්ත වික්‍රමසේකර ඝාතනය සහ පින්නදුවගේ ඝාතනය යන දෙකම බොහෝ සමානකම්වලින් සමන්විතය. ඝාතකයින් පැමිණෙන්නේ යතුරුපැදිවලිනි. ඝාතකයින් දෙදෙනෙකි. නගරාධිපතිවරයා සහ සභාපතිවරයා නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ඉන් වෙන්ව ගිය සමගිජනබලවේගයයි.
ලසන්ත වික්‍රමසේකර, විවිධ අපරාධවලට සම්බන්ධයැයි කියවෙයි. සන්ෂයින් සුද්දා නැමැත්තා ඝාතනයටද ඔහුගේ සම්බන්ධයක් ඇතැයි අත්අඩංගුවටද පත්ව තිබේ.
සියල්ල එසේ තිබියදී ලසන්ත ඝාතනය, ‘අවි ගත්තෝ අවියෙන් නැසෙති..’ , ‘කලකම් ඵලදේ’ වැනි හිත හැදෙන කතාවලින් තනුක කළ නොහැකිය.
මරණ දඩුවම පවා ක්‍රියාත්මක නොවන රටක මෙසේ මිනිසුන් මරා දැමීම කිසිවිටෙකුත් අනුමත කළ හැකි තත්ත්වයක් නොවේ. ආණ්ඩුව ඉතා ඉක්මනින් ලසන්ත ඝාතකයින් නීතියේ රැහැනට හසු කරගැනීමට අවශ්‍ය සියළු පහසුකම් වහා වහා සම්පාදනය කළ යුතුය. එය මේ වනවිට සංවිධානාත්මක අපරාධ මර්ධණය සම්බන්ධයෙන් ආණ්ඩුව කරන මැදිහත්වීමට යහපත්ය.
ප:ලි – එසේම, දශක ගණනක් පුරා රට පාලනය කළ පාලකයින් කිරි පොවා ඇති දැඩි කළ අපරාධ සංස්කෘතිය, ජාතික ජනබලවේග ආණ්ඩුවට ක්ෂණිකව වෙනස් කළ හැකි යැයි හෝ කළ යුතුයැයි යමකු යෝජනා කරන්නේනම් වහාම ඔවුන් ආහාරයට ගන්නා තෘණ වර්ගය කුමක්දැයි සොයා වාර්තා කළ යුතුය.
