බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්
බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා දිවුරුම් දුන් අර්කම් ඉල්යාස් මහතා ඊයේ (24) බලශක්ති අමාත්‍යංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.
නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සිය මූලික අධ්‍යාපනය මාතර ඉල්මා විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය මාතර රාහුල විද්‍යාලයෙන්ද ලබා ඇති අතර මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ (ගෞරව) උපාධිධාරියකුද වේ.
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන ඒ මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සහ ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ සාමාජිකයෙකුද වේ. තවද ඒ මහතා මාතර දිස්ත්‍රික්කය වෙනුවෙන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වූ පළමු මුස්ලිම් මන්ත්‍රීවරයා ද වන අතර ජාතික ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක ධුරය ද හොබවයි.
එහිදී සිය නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, ඉංජිනේරුවරයෙක් හැටියටත්, තරුණ මන්ත්‍රීවරයෙක් හැටියටත්, බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳවත්, රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය, අභියෝග, ඉලක්ක සහ විශේෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති තරුණයෙක් හැටියටත්, විශේෂයෙන්ම රටේ ජන ජීවිතයට, රටේ දියුණුවට ඉතාම වැදගත් අමාත්‍යංශයක වගකීමක් ලැබීම ඉතා වැදගත් බව ප්‍රකාශ කළ අතර, පුද්ගලික ඉලක්ක හෝ අරමුණු ඉක්මවා ගිය දේශපාලන වැඩපිළිවෙලක කොටස්කරුවෙක් හැටියට ඒ පොදු අරමුණු ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ධෛර්යය, ශක්තිය ලැබේවා කියා මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා යැයි පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා බලශක්ති අමාත්‍යවරයා මෙතෙක් කරගෙන ගිය සේවය අගය කරමින් ඉදිරියෙදී එතුමාට සහය වෙමින් උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ජනතාවගේ එදිනෙදා කටයුතු වලට ඉතා වැදගත් ආයතන වලින් සමන්විත බලශක්ති අමාත්‍යංශයේ දියුණුව සදහා කැපවී ක්‍රියාකිරීමට අපේක්ෂා කරන බවද පැවසීය.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලාල් ප්‍රේමනාත්, අජන්ත ගම්මැද්දගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, බලශක්ති අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ඉහළ නිලධාරීන් ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

