Latestදේශීය

මිරන්ත වරුසවිතාන ඝාතනය

අම්බලන්ගෙඩ මෝදර දේවාල කමිටුවේ සභාපති මිරන්ත වරුසවිතාන මහතා වෙඩි තබා ඝාතනය කළ කුලී ඝාතකයන් හඳුනාගෙන ඇති අතර එය මෙහෙයවූ පුද්ගලයන් සොයා පැති කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

මෙම ඝාතනය සිදුකළ කුලී ඝාතකයන් සී.සී.ටි.වී. දර්ශන ඔස්සේ මේ වනවිටත් හඳුනාගෙන සිටින අතර ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ කව්රුන් විසින්ද එය ක්‍රියාත්මක කළේ කුමන හේතුවක් නිසාද යන්න සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන කරගෙන යන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටී.

මෙම ඝාතනය මෝදර දේවාලයේ ගැටලුවක් නිසා සිදු වූයේද එසේත් නැත්නම් කරන්දෙණියේ සුද්දාගෙන් පළිගැනීම සඳහා ඔහුට විරුද්ධ පාර්ශ්වයක් විසින් සිදු කළේද යන්න සොයා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

මෙම ඝාතනය දකුණේ පාතාල ප්‍රබලයන් දෙදෙනකු වන ලොකු පැටී සහ සමන් කොල්ලාගේ අනුදැනුම මත සිදුවී ඇති බවට ලැබුණු තොරතුරු ඔස්සේ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර තම පියා මීටියගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙස ඔහුගේ පුත්‍රයන් විසින් කරන්දෙණියේ සුද්දාගේ මස්සිනා මරා දැමූ බවට ද සැකයක් මතුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද වෙනම පොලිස් කණ්ඩායමක් විමර්ශන කරගෙන යයි.

මෙම ඝාතනය තමන් විසින් මෙහෙයවූ බව කියමින් සෙනුර නිමල්ෂ නමැති තරුණයකු යූටියුබ් නාළිකාවක් ඔස්සේ නිකුත් කළ හඬපටය මහත් ආන්දෝලනයට තුඩුදී තිබිණ. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් මේ ගැන විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පාර්ශ්වයන් කිහිපයක් මේ වනවිට හඳුනාගෙන සිටින අතර ඔවුන් පිළිබඳ විමර්ශන කරගෙන යන බවයි.

මෙම ඝාතනය කව්රුන් විසින් මෙහෙයුවේද යන්න මෙතෙක් හඳුනාගෙන නැති බවද වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය. විමර්ශන වෙනත් මාර්ග වෙත යොමු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරමින් සිටින නිසා මෙම ඝාතනය සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට නොපැමිණ විමර්ශන කරගෙන යන බවද වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

යූටියුබ් නාළිකාවක් ඔස්සේ හඬපටය නිකුත් කළ සෙනුර නිමල්ෂ නමැති තරුණයා පවසන්නේ ඉකුත් මැයි මස 03 වැනිදා මීටියාගොඩදී තම පියා සහ සොහොයුරකු වෙඩි තබා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙස මෙම ඝාතනය මෙහෙයවූ බවයි.

මීටියාගොඩ අවන්හලකදී ඝාතනය වූ 47 හැවිරිදි මහදුර නලින් නමැත්තාගේ පුත්‍රයන් දෙදෙනකු වන ඉසුරු සහ නිමල්ෂ විසින් මෙම ඝාතනය මෙහෙයවූ බව එම හඬපටය ඔස්සේ ප්‍රකාශ කර තිබිණ.

ඉකුත් මැයි මාසයේ 03 වැනිදා මීටියාගොඩ අවන්හලකදී ඝාතනය වූ නලින් නමැත්තා ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකි. එහිදී ඝාතනයට ලක්ව තිබුණේ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයේ දෙදෙනෙකි.

මෙම ද්විත්ව ඝාතනයට එකට එක කිරීමක් ලෙස නලින් නමැත්තා ඝාතනය වන්නේ කරන්දෙණියේ සුද්දාගේ නියෝග මතය.

තම පියා මරා දැමූ පාතාල මැරයන්ගෙන් පළිගැනීම සඳහා ඔහුගේ පුත්‍රයන් අවස්ථා කහිපයකදී උත්සාහ කර තිබුණි. එය ව්‍යර්ථ විය. සෙනුර නිමල්ෂ ඩුබායි රාජ්‍යයට පලා ගිය අතර ඔහු එහි සිට තම පියා මැරූ කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයෙන් පළිගැනීමට උත්සාහ ගත්තේය.

මිරන්ත වරුසවිතාන මරා දැමුවේ තම පියා මරා දැමීමට පළිගැනීම සඳහා බව නිමල්ෂ ප්‍රකාශ කර තිබේ. මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් මෝදර දේවාලයේ ආරවුලක් වෙත ද පොලිසියේ අවධානය යොමුවී ඇත.

මෝදර දේවාලයේ ප්‍රධාන කපුවා රුපියල් තිස්තුන් කෝටි හැටහය ලක්‍ෂයක මුදලක් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම මුදල් පාතාල නායක ලොකු පැටීගේ මත්ද්‍රව්‍ය ජාලය හරහා උපයාගත් ඒවා බව හෙළිවී තිබේ.

ඝාතනයට ලක්වූ මිරන්ත වරුසවිතාන මොදර දේවාල කමිටුවේ සභාපතිවරයාය. කෝටි තිස්තුනක මුදල් සමග කපුවා අල්ලා දීමට ඔත්තුව දුන්නේ මිරන්ත විසින් බවට සැක කර ඔහු මරා දැමුවේද යන්න සැකයක් ද මේ වනවිට පොලිසිය වෙත ලැබී තිබේ.

කෙසේ වෙතත් මෙම ඝාතනය කාගේ අවශ්‍යතාවට සිදුවූයේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්‍ෂණය යටතේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කරයි.

@දිවයින

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *