උසස් පෙළ අභියස මිලිනව ගිය නවයෞවනිය
උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි දඹුල්ල, ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි සිසුවියක හදිසියේ ඊයේ (10) උදේ මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තරුෂි චමෝදි (19) නමැති දඹුල්ල ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක බව පොලීසිය පවසයි.
දඹුල්ල, ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි මේ දැරිය 9 වැනි දින පස්වරුවේ තම කාමරයේ අධ්‍යාපන කටයුතු කරමින් සිටියදී රාත්‍රී නිදාගෙන උදෑසන අවදි නොවීම නිසා මවුපියන් සොයා බැලීමේදී ඇය සිහිසුන්ව සිටි හෙයින් වහා ඇය දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට උදෑසන රැගෙන ගොස් තිබේ. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කර බැලීමේදී ඇය ඒ වන විටත් මියගොස් ඇති බව සනාථ කරගෙන ඇතැයි දඹුල්ල පොලීසිය පවසයි. සිද්ධිය වාර්තා වීමත් සමඟ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිසුවියගේ නිෙවසට ගොස් ඇය පාඩම් කළ කාමරය පරීක්ෂාවට ලක් කළේය.
එහිදී සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. සිසුවියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලීසිය සඳහන් කරයි.
සිසුවියගේ පියා විශ්‍රාමික නාවික හමුදා සෙබළකු බවත් ඇයට බාල නැඟණියක් ද සිටී. ඇය අධ්‍යාපනයට විශාල උනන්දුවක් දැක්වූ සිසුවියකි.
ඇයගේ මුළු කාමරය පුරාම අධ්‍යාපනික අවශ්‍යතාවන් පිළිබඳ සටහන් රැසක් අලවා තිබිණි. ඇයගේ බලාපොරොත්තුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ගැනීම බවට ද ඇය බිත්තියේ සඳහන් කර තිබීම විශේෂත්වයකි. මියගිය පාසල් සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේදී ඊයේ (10) පැවැත්වීමට නියමිතව තිබිණි. දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
@දිනමිණ

