අන්තර් ආගමික සංවාදයේ ගැඹුරු හරය සොයා ගොස් ඝාතනය වූ මයිකල් පියතුමා
(මහින්ද නාමල්)
බුත්තල අලුකලවිටදී 1989 නොවැම්බර් 10 වනදා වෙඩි තබා ඝාතනය කළ ආචාර්ය මයිකල් පෝල් රුද්‍රිගු (නි.ම.නි) පියතුමාගේ මෙහෙවර ඊට වසර 38 කට පසු අද, 2025 දී මෙනෙහි කර බැලීම, විමසා බැලීම ඉතා වැදගත් වේ. ඊට විශේෂ හේතුවක් වන්නේ මයිකල් පියතුමා කිසිදු කතෝලිකයෙක් ජීවත් නොවු ඌව වෙල්ලස්සේ බුත්තල අලුකලවිට ග්‍රාමයට ගියේ ඇයි ? යන ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන සුවිශේෂි කතෝලික සභා ලියවිල්ලකට 2025 වසරේදී වසර 60 ක් පිරීමයි.
එනම්, කතෝලික සභාවේ දැවැන්ත පුනරුදයක් ඇති කළ දෙවන වතිකාන කතිකාවත (1962-1965) තුලින් නිකුත් වු ප්‍රකාශන 16 න් එකක් වන කිතුනු නොවන ආගම් සමඟ සංවාදය දිරිගැන්වු ‘අපේ කාලය තුළ’ (Nostra Aetate) නම් වු ප්‍රකාශයයි. එම ප්‍රකාශය මගින් එතෙක් ලෝකයේ අනිකුත් ආගම් මිථ්‍ය දෘෂ්ඨින් සේ සැලකු ආකල්පයේ සුසමාදර්ශි වෙනසක් සිදු විය.
අන්‍ය ආගමික උත්සවයකට සහභාගී වීම, අන්‍ය ආගම් අගය කිරිම නොව අන්‍යාගමික පෙරහැරක් නැරඹීම පවා පාපයක් වැනි හැගීමක් කිතුනුවන් තුළ සභාව විසින්ම ගොඩනගා තිබු පසුබිමක් පැවැති ශතවර්ෂ ගණනාවක්ට පසුවයි මේ ප්රකාශනය නිකුත් වන්නේ.
එහි මෙසේ සඳහන් වේ.

‘කතෝලික සභාව අනිකුත් ආගම්වල සත්‍ය හා ශුද්ධ වූ කිසිවක් ප්‍රතික්ෂේප නොකරයි. ඇය අවංක ගෞරවයෙන් යුතුව එම හැසිරීම් සහ ජීවන ක්‍රම, ශික්ෂා පද හා ඉගැන්විම් සලකයි. අප දරන සහ ඉදිරිපත් කරන ඒවාට වඩා බොහෝ පැතිවලින් වෙනස්වූවද බොහෝ විට සියලු මිනිසුන් ආලෝකමත් කරන සත්යයයේ කිරණ ඒවා මගින් පිළිඹිබු කරයි.’
‘සභාව සිය පුතුන්ට අනුශාසනා කරන්නේ විචක්ෂණශීලිව හා ප්‍රේමයෙන් ක්‍රිස්තියානි ඇදහිල්ලට සාක්ෂි දරන අතර වෙනත් ආගම්වල අනුගාමිකයින් සමඟ සංවාදය හා සහයෝගීතාවය තුළින් ඔවුන්ගේ යහපත් දේ, අධ්‍යාත්මික හා සංස්කෘතික වටිනාකම් හඳුනාගෙන, ආරක්ෂා කර, ප්‍රවර්ධනය කරන ලෙසයි.’
මයිකල් රුද්‍රිගු පියතුමා 1980 දී බුත්තල වෙත ගමන් කරන්නේ ඉහත කී ලියවිල්ලෙන් උත්තේජනය ලැබු සිය ජිවිත ඉතිහාසය තුළින් අත්පොත් තැබු මෙහෙවරකටය. එනම් විලාසිතාමය ආකාරයකට නොව ගැඹුරු සමාජ ආර්ථික දේශපාලන අරුතින් යුතුව බොදුනු-කිතුනු සංවාදය නගරයේ නොව ගම තුළ නව අරුතකින් ජීවත් කරවීමටය. එතුමා බුත්තල කතරගම මාවත අද්දර අලුකලවිට ග්‍රාමයේ පොල් අතු සෙවිලි කළ කටුමැටි වරිචචි බිත්ති ඇති ‘සුබසෙත් ගෙදර’ නම් කුඩා නිවසේ ආරම්භ කරන්නේ ’ග්‍රාමිය බොදු-කිතුනු සංවාද හා අවබෝධ හවුල’ නම් වු වැඩ පිළිවෙළයි.
උන්වහන්සේ එම ක්‍රියාවලීය ඉහත කී ප්‍රකාශය මගින් සභාව ඉල්ලා සිටි සංවාදය යනු කුමක්දැයි එහි හරි අරුතින් වටහා ගන්නට ලෝකයට තිබෙන සංනිදර්ශයකි. එය කෙටියෙන් හෝ විමසා බැලීම වටි. මයිකල් පියතුමා සංවාද භූමිය ලෙස ඌව වෙල්ලස්සේ බුත්තල තෝරා ගත්තේ ඇයි ද යන්න විටෙක වචන ගත කළේ මෙසේය.

‘ක්‍රිස්තියානියේ නාමයෙන් පෙනී සිටි අධිරාජ්‍යවාදි හූ වෙල් ලක්ෂයක් තිබු ඌව වෙල්ලස්ස විනාශ කරමින් එහි සිය ගණනක් වු පිරිමින් මරා දමමින් තම අධිරාජ්‍යවාදි පාලනය පවත්වා ගැනීමට ක්‍රියා කළා. මම මේ ප්‍රදේශය තෝරා ගන්නේ එම එෛතිහාසික අපරාධයට කිතුනුවෙක් වශයෙන් කරන වන්දි ගෙවීමක්ද වශයෙනි.’
ආගම් අතර සංවාදය බුද්ධිමය තලයේ හෙවත් ඇකඩමික් තලයේ නාගරීකව සිදුවන කාලයක මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රය පිහිටු වීමට පුරෝගාමි වු එක් පුද්ගලයෙකු වූ එතුමා සැබෑ සංවාදය පීඩිත ජනතාව අතර සිදුවිය යුතු බව හඳුනා ගත්තේය. එබැවින් උන්වහන්සේ තමන්ට නුහුරු නුපුරුදු එම ප්‍රදේශය වෙත ගමන් කිරීම සරල ක්‍රියාවක් නොවීය. එය ඉංග්‍රීසි කථා කරන පැවතුමෙන් සිංහල කථා කරන පැවතුමක් වෙතද, සංකර සුඛවිහරණයෙන් සරල බව වෙතද, රෝමානු කතෝලික හැදීයාවෙන් බොදුනු සංස්කෘතික ඇවතුම් පැවතුම් වෙතද, තනතුරු, උසස් වීම්, වරදාන වෙතින් අපිස් බව වෙතද, වත් පිළිවෙත්වලින් ජීවිතය වෙතද, නික්මයාමක් විය.
ඉහත අප උපුටා දැක්වු අන්තර් ආගමික සංවාදය සඳහා වු ලේඛනය යෝජනා කරන ඇත්ත සංවාදය යනු අද ජනප්‍රීයව පවතින සංදර්ශනවාදී සහජීවනයවත්, වෙළඳපලවාදි සහජීනයවත්, ව්යාපෘතිවාදි සහජීවනයවත් නොව ධර්මයේ විමුක්ති හරය සමාජ යථාර්ථය තුළ හඳුනා ගැනීමටත් එම විමුක්තිය උදා කර ගැනීම සඳහා ජනතාව කරන අරගලය සමඟ බද්ධ වීමටත් ගන්නා ජීවිත ප්‍රතිපදාවක් වන සංවාදයක් බව එතුමා අපට පෙන්වා දෙයි.
ධර්මදානය යනු ජනතාව විමුක්තිදායක ධර්මය තුළ පිහිටුවීම සඳහා ඇප උපකාර කිරිමයි. ධර්මයෙහි පිහිටුවීම යනු ජනතාව අත්දකින පීඩාවෙන් එතෙර කිරීමේ ක්රියාවලීයයි. එය අවබෝධ කරගත් මයිකල් පියතුමා බුත්තල පීඩිත ගොවි ජනතාව සමඟ ඔවුන්ගේ කෙනෙකු බවට පත්වෙමින් ඔවුන් තුළ ඇති ශක්තීන් මතු කර ගැනීමට පහසුකම් සපයන්නෙකු බවට පත් විය. එය ගැඹුරින් ඵලදරන ක්‍රියාවලීයක් වීම නිසාම බලවතුන් ධනවතුන් හා හණමිටි හිසින් තබා ගත් සම්ප්රදායවාදින්ගේ වෛරයට හේතු විය.
ඉහත දැක්වු ලේඛනයේ නාමය වන ‘අපේ කාලය තුළ’ ධාර්මික පැවතුම කුමක් දැයි සෙවීමට කාලයේ සළකුණු කියවීමට එතුමා බුදු දහම හා කිතු දහම තුළින් ක්‍රියා කළේය. 1980 දී එතුමා බුත්තලට යන විට ශ්‍රී ලංකාව වෙළඳපල විවෘත ආර්ථිකයේ චන්ඩ මාරුතයට හා එය පවත්වාගෙන යාම පිණිස ඇති කළ අධිපතිවාදි විධායක ජනාධිපති ක්රමයේ බලපෑමට ලක් වෙමින් තිබුනේය.
1980 ජූලි වැඩවර්ජනය, සංවර්ධන සභා ඡන්දය තුළ යාපනයේ සිදුවීම්, යාපන පුස්තකාලය ගිනි තැබීම්, 1983 කළු ජූලිය උතුරේ තරුණයන් පමණක් නොව දකුණේ තරුණයින්ට අවි අතට ගත් 1987-1988 භීෂණ සමයේ ආරම්භය එතුමා එහි සිටි කාලය තුළ සිදු වු ගැඹුරු සමාජ කම්පනයන්ය. ඒවා අවබෝධ කර ගැනීම පිණිස බොදු-කිතුනු සංවාදය උපකාරි කර ගැනීම තුළින් සුබසෙත් ගෙදර වටා විශාල මහජන වළල්ලක් ගොඩනැගුනි. බහුජාතික සමාගම් වෙල්ලස්සේ සිදු කරන පරිසර විනාශය ලෝකයට පවසන්නට වෙල්ලස්සේ ගැමි ජනතාවට මයිකල් පියතුමා සතු වු බහුවිධ දැනුම් හා හැකියාවන් උපකාරි විය. ගැමි ජනයා බලගන්වන මේ බලවත් ශක්තිය තුරන් කිරිමේ අවශ්‍යතාවය මතු වන්නේ එකී පසුබිම තුළය. එතුමාට වැඩි තැබුවේ කව්ද යන්න ගැන විවිධ ආඛ්‍යාන තිබුණත් එතුමාට වැඩි තැබුවේ ඇයිද යන හේතුව පැහැදිලිය.

මයිකල් පියතුමාව මරා දමා තිබුණු අයුරු
මුලදී මයිකල් පියතුමා පැමිණීම මිනිසුන්ගේ ඔලුවට වතුර වක්කර ඔවුන්ව ක්රිස්තියානියට හරවා ගන්නා වැඩපිළිවෙලකැයි සැක සිතු ප්‍රදේශයක බෞද්ධ ස්වාමින් වහන්සේලා පසුව එතුමන්ලාට තම පන්සලේ බණ කීමට පවා ආරාධනා කළෝය. එතුමාගේ මරණයෙන් පසු අලුත්වෙල සුමනසිරි ස්වාමින්වහන්සේ මෙසේ අදහස් දක්වා තිබුණි.
‘සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ ඉඩකඩක් අතහැර මෙවන් කටුක ජීවිතයක් ගෙවන්නට එතුමා තෝරාගන්නට ඇයි දැයි අපිට පැහැදිලියි. පූජකවරයෙකු ලෙස එතුමන් ගමේ විහාරය සමඟ තබා ගත්තේ සමීප සම්බන්ධතාවයකි. අප එතුමන් ජීවිතයේ අනුගමනය කළ සරල බව අවබෝධ කරගත්තේ එවිටය. එදිනෙදා ජීවිතයේ පැවැති චාම් නිහතමානි බව හා දළ ආහාර වේලකින් දිවි ගෙවෙන අල්පේච්ඡ ජීවිතය අප පුදුම කරවන තරම් විය.’
අපේ කාලය තුළද, අද ද ඉහත කී ප්රකාශනය මතු කරන කිතුනුවන් හා බොදුනුවන්, හින්දුන්, ඉස්ලාමිකයන්, ජුදා ආගමිකයින් ඇතුළු අනිකුත් ආගමිකයින් අතර සංවාදයට සමාජ දේශපාලනීක ගැඹුරක් සහිතව ඇතුලත්වීම නොතේරුම් ගැනීම් රාශියකට මුහුණ දිය යුතු අභියෝගයක්ව පවතී. මෙම ප්රකාශනයෙන් වසර 60 කට පසුත් ඇතැම් කිතුනුවන් මෙන්ම වෙනත් ආගමිකයින්ට සැබෑ සහජීවනය බිඳ දමන දෙස් විදෙස් ධනවතුන්ගේ මතවාදී අදහස් තුළ සිරවී සිටිනවා මිස ධර්මයන්හී ගැඹුරු විමුක්ති හරයට අවධී වී නැති බවට ඒ තත්ත්වය සාක්ෂියකි. මයිකල් පියතුමාගේ ගැමි බොදුනු කිතුනු සංවාද හා අවබෝධ වැඩපිළිවෙල අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඒ අනුවය.

