ටිරාන්ට එල්ල වී ඇති චෝදනා පිළිබද ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි – පුබුදු ජයගොඩ
ජන අරගල සන්ධානය පසුගියදා (19) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කළේය.
හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් 2023-2024 වකවානුවේ මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම විදේශීය සමාගම් වලට ලබාදීමට ගත් තීරණය මගින් දූෂණයක් සිදුව ඇති බවට වූ මෙම පැමිණිල්ල සඳහා ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයන් වන පුබුදු ජයගොඩ, දයාපාල තිරාණගම සහ තරිඳු උඩුවරගෙදර සහභාගී විය. පැමිණිල්ල බාරදීමෙන් අනතුරුව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ මෙලෙස අදහස් දැක්වීය.
අපි අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කලා ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමයට වීසා ලබාදීම VFS VF Worldwide Holdings Ltd සහ GBS Technology Services & IVS Global-FZCO යන ඉන්දියානු සමාගම් වලට ලබාදීම හරහා වංචාවක් සිදුවී ඇතිබව පෙනෙන නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස. 2023 සැප්තැම්බර් 11 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ටිරාන් අලස් මෙම යෝජනාව කළා. ඉන් පසුව පත්කල නිලධාරී කමිටුව නිර්දේශ කළෙත් මේ ක්රීයාවලිය අවශ්‍ය නෑ, මොබිටෙල් ආයතනය හරහා වීසා නිකුත් කිරීම කරන්න පුළුවන් කියලා. නමුත් 2023 දෙසැම්බර් 4 වැනිදා මෙයට කැබිනට් අනුමැතියක් දුන්නා. මේ ගැන බරපතළ සැකයක් තිබෙනවා. රජයට හිමිකාරීත්වයක් සහිත මොබිටෙල් සමාගම ඩොලර් එකකට සැපයූ සේවාවක් ඩොලර් 18ක ඉන්දියානු සමාගමක් හරහා ලබා ගන්න තීරණය කලේ ඇයි? ඒ පිටුපස අල්ලස් ගැනීමක් තිබෙනවාද? ඒ වගේම එක වීසා එකකට ඩොලර් 7ක පහසුකම් සැපයීමේ ගාස්තුවක් අය කර තිබෙනවා, ඒක ගිවිසුම් වලත් සඳහන් වෙලා නෑ. ඒ මුදල ගියේ කාගේ අතටද? ඒ වගේම 2025 ඔක්තෝබර් 3 නිකුත් වූ ජාතික විගණන කාර්යාලයේ වාර්තාවේ සඳහන් වෙනවා ඩොලර් මිලියන 1.4ක බදු වංචාවක් වෙලා කියලා. මේ පිටුපස ඇති දූෂණ සොයා බැලිය යුතුයි.
අපි මීට පෙරත් ටිරාන් අලස් ගැන පැමිණිලි කළා. ජන අරගල සන්ධානයේ දුමින්ද නාගමුව සහෝදරයා වර්ජිනියා දූපත් වල ටිරාන් අලස් කළ ආයෝජන හරහා මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බව පැමිණිලි කළා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාදැයි අපි අවධානයෙන් සිටිනවා.

