Latestදේශීය

බැංකු කාඩ්පතින් බස් ගාස්තු ගෙවීමේදී අමතර අයකිරීමක් නැහැ – බිමල් රත්නායක

මාකුඹුර බහුවිධ මඟී ප‍්‍රවාහන පර්යන්තයේදී ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් , ප‍්‍රවාහන අමාත්‍යංශය මඟින් දියත් කරන ලද බස් රථ ගාස්තු බැංකු කාඞ්පත් භාවිතයෙන් ඩිජිටල් ලෙස ගෙවීමේ නියමු ව්‍යාපෘතිය අද (24) දින සාර්ථකව ඇරඹිණි.

මෙම ව්‍යාපෘතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ ඩිජිටල්කරණ වැඩ පිලිවෙලේ පුළුල් ව්‍යාපෘතියක් වන අතර එය සමස්ත මගී ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය නවීකරණය කිරීමේ අරමුණින් ආරම්භ කෙරේ. ඒ අනුව පළමු අදියරයේදී මාර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක බස් ගාස්තු බැංකු කාඞ්පත් මඟින් ගෙවීමට පහසුකම් හිමිවේ.

මෙම ඩිජිටල් ගෙවීමේ ක‍්‍රමවේදය මඟින් මූලික වශයෙන් බස් රථ මගීන්ට මුදල් ගනුදෙනු වලදී ඇතිවන ඉතිරි මුදල් ප‍්‍රශ්නයට විසඳුම් ලැබෙන අතර බස් රථ හිමියාගේ පාර්ශවයෙන් බස් රථයේ සිදුවන සියලූම ගනුදෙනු පිළිබඳ නිවැරදි තොරතුරු ක්ෂණිකව ලබාගත හැක. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය තුළින් මගීන්ට වඩා හොඳ අත්දැකීමක් ඉදිරියේදී ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ දුර සේවා ගමන් සඳහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම, වාර සේවා සහ පාස්පත් සඳහා වෙනම බැංකු කාඞ්පත් පතක් හඳුන්වා දීම, සහ බැංකු කාඞ්පත සමඟ QR කේතය භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ හැකියාව වැනි පහසුකම් ද ඇතුළත් වේ.

මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් අනතුරුව, ඉදිරියේදී රටේ ඇති සියලූම පෞද්ගලික සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මෙම ඩිජිටල් ක‍්‍රමවේදය තුළට එක් කර ගනු ඇත. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය හරහා බස් රථවල ගමන් කරන මගීන් පිළිබඳ දත්ත විශාල ප‍්‍රමාණයක් ලැබෙනු ඇත.

මේ වන තෙක් බස් රථ සේවාවන් සඳහා කිසිදු දත්තයක් නොමැතිව කටයුතු කළද, ඉදිරියේදී එම දත්ත ප‍්‍රවාහන සේවාවේ කාලසටහන් සකස් කිරීමට, කාර්යාල වේලාවන්හිදී සහ උත්සව සමයන්හිදී බස් රථ වැඩිපුර යෙදවීමට මෙන්ම වෙනත් තීරණ ගැනීම් සඳහා අදාළ බලධාරීන්ට, ජාතික ප‍්‍රවාහන කොමිෂන් සභාවට, මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරී සහ ප‍්‍රවාහන අමාත්‍යංශයට භාවිතා කළ හැකි වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *