දේශබන්දුගේ නඩුව ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනියි
ගාලුමුවදොර සාමකාමී විරෝධතාවට පහරදීමට ඉඩහැරීම මඟින් පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමේ අපරාධ චෝදනාව යටතේ එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අරගලකරුවකු ගොනු කළ පෞද්ගලික නඩුවක් ප්‍රතික්ෂේප කිරීමට එවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැණි බව කොළඹ මහාධිකරණය පසුගිය දා (18දා) තීන්දු කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට එරෙහිව අරගලකරුවකු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම තීන්දුව දුන්නේය.
අලුත්කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශ කිරීමේදී පෞද්ගලික නඩුකරයකදී සලකා බැලිය යුතු මාර්ගෝපදේශ හෝ නීතිමය මූලධර්ම කෙරෙහි අවධානය යොමුකර නැති බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේදී සාමාන්‍ය කාර්යපටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇති බව බැලූ බැල්මට පෙනෙන බවත් එවැනි තත්ත්වයක් යුක්තිය පසිඳලන අධිකරණයෙන් සමාජය කිසිසේත් අපේක්ෂා නොකරන බවත් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
“ගෝඨාගෝගම”දී පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි සෙයියද් මොහොමඩ් නියාස් මව්ලානා නමැති ව්‍යාපාරිකයකු නීතිඥ අචලා සෙනවිරත්න මෙණෙවිය මඟින් ගොනුකළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ අධිකරණය මෙම නියෝගය දුන්නේය.
2022 වසරේ මැයි 09දා අරලියගහ මන්දිරයේ සිට පැමිණි කලහකාරීන් පිරිසක් “ගෝඨාගෝගම” සාමකාමී විරෝධතාවට පහරදීම කළ අවස්ථාවේ එය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් ආඥා පනතේ 56, 82, 83 යන වගන්ති යටතේ සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 136 (1), 139 (අ) වගන්ති යටතේ අපරාධමය වරදක් කර ඇති බව පෙත්සම්කරු කියා සිටින ලදී.
මෙම නඩුව එවකට කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ තිළිණ ගමගේ මහතාට යොමුවූ අතර එය වෙනත් මහේස්ත්‍රාත්වරයකුට යොමු කරන ලෙස පැමිණිල්ල ඉල්ලා සිටින ලදී.
ඒ අනුව විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කෙරිණි. එය විභාග කළ අලුත්කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අදාළ ලේඛන ඉදිරිපත් නොකිරීම හා අසත්‍ය කරුණු දක්වා තිබේය යන පදනම මත 2022 වසරේ දෙසැම්බර් 02දා පැමිණිල්ල නිෂ්ප්‍රභ කෙරිණි.
“ගෝඨාගෝගම”අරගලකරු එම නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.
වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥ පාලිත සුබසිංහ සමඟ ගිහාන් රත්නායක මහත්වරු පෙනී සිටියහ. නීතිඥ අචලා සෙනෙවිරත්න මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය.
@දිනමිණ

