අර්ජුනට ධම්මිකට අධිචෝදනා
ඉහළ මිල ගණන් යටතේ අත්තනෝමතිකව ඉන්ධන මිලදීගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංගට හා එවකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාව සිටි ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළ බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ පසුගියදා (22) දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ නීතිඥ අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය මේ බව දැනුම් දුන්නාය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග සැකකරුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරගැනීම සඳහා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
විත්තිකරුවන් සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදු කරන්නේ නම් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු බව කොමිසම වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ අනූෂා සම්බන්ධප්පෙරුම මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය.
හිටපු ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග විත්තිකරුවන් කරමින් දූෂණ විරෝධි පනත ප්‍රකාරව මෙම නඩුව ගොනුකර ඇතැයි ද ඇය කියා සිටියාය.
ධම්මික රණතුංග සැකකරුගේ බිරියගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට විදේශගත වීමට අවශ්‍ය බැවින් ඊට ඉඩ ලබා ගැනීම සඳහා මෙම ඇප ලිහිල් කිරීමේ ඉල්ලීම සිදු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සැකකරුට අධි චෝදනා ගොනුකොට ඇත්නම් ඒ සම්බන්ධයෙන් එම අධිකරණයට ඉල්ලීම් කරන බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.
2017 – 2018 වර්ෂයේ මාස 6ක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් රටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීමෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් (අමෙරිකන් ඩොලර් 4716957) සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව විත්තිකරුවන්ට ඉදිරිපත් කොට ඇත.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර කරුණු මාර්තු 13 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

