නව නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් තැබූ ඉන්දියාව සහ යුරෝපා සංගමය
යුරෝපීය මෝටර් රථ, වයින්,චොකලට් හා සේවා ඇතුළු බොහෝ අංශවල තීරුබදු අඩු කරන හා ඉන්දියාවේ එහි රෙදිපිළි සහ ඖෂධ සඳහා යුරෝපයට වඩා හොඳ ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වූත් නව නිදහස් ගිවිසුමක් දෙරට අතර ජනවාරි 27 වනදා අත්සන් කරනු ලැබූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. දශක දෙකක අඛණ්ඩ සාකච්ඡා වලින් පසු දෙපාර්ශ්වයම එක්සත් ජනපදය සමඟ වඩාත් සියුම් සබඳතාවලින් ආරක්ෂා වීමටත් චීනයේ වෙළඳ අධිපත්‍යයට මුහුණ දීම සඳහාත් මෙම ගිවිසුම අත්සන් කිරීම යුහුසුළු වූ බව විදේශ වාර්තා තවදුරටත් පෙන්වා දේ.
“ඊයේ ජනවාරි 26 දා යුරෝපීය සංගමය සහ ඉන්දියාව අතර ප්‍රධාන ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. යුරෝපය සහ ඉන්දියාව අද ඉතිහාසය අළුතෙන් නිර්මාණය කර තිබෙනවා. අපි දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලබා දෙන බිලියන 2 ක ජනතාවකගේ නිදහස් වෙළඳ කලාපයක් මේ අනුව නිර්මාණය කර තිබෙනවා. එය ලෝක ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) ආසන්න වශයෙන් 25% ක් සහ ගෝලීය වෙළඳාමෙන් තුනෙන් එකක් ආවරණය කරනු ලබනවා” යයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
“මෙම ගිවිසුම ඉන්දියාවේ සහ යුරෝපයේ ජනතාවට වාසිදායක අවස්ථා උත්පාදනය කරනු ඇත. අපි සියලු ගිවිසුම්වල තනි ගිවිසුම ලෙස අවසන් කර ඇත්තෙමු. මේ දක්වා සාම්ප්‍රදායිකව ආරක්ෂිත ඉන්දියානු වෙළඳපොල තුළට විදේශීය වෙළඳ හවුල්කරුවෙකුට ලබා දී ඇති ඉහළම මට්ටමේ ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලැබීමට යුරෝපා සංගමය අපේක්ෂා කරනවා. මෙමගින් යුරෝපීය අපනයන දෙගුණ වනවා වගේම ප්‍රධාන කාර්මික සහ කෘෂි ආහාර අංශවල සැලකිය යුතු තරඟකාරී වාසියක් ලබා ගන්නෙමු,” යයි යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් ද මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.
ඉන්දියාව සහ යුරෝපය නව භූ-උපායමාර්ගික සබඳතා සොයා ගනිමින් සිටින අතර, ගෝලීය අවුල් සහගත තත්ත්වයන් තුළ නැවත මහද්වීපයන් දෙක පෙළගැස්වීමේ අවශ්‍ය තාවය දෙරටම මතු කරමින් සිටි. අවිනිශ්චිත භූ-දේශපාලනික සන්දර්භයක් තුළ, මෙම ගිවිසුම දෙපාර්ශවයටම චීන තරඟකාරිත්වයෙන් සහ එක්සත් ජනපදය විසින් දියත් කරන ලද වෙළඳ යුද්ධයේ බලපෑම් වලින් වඩා හොඳින් ආරක්ෂා වීමට දෙපාර්ශ්වයම අපේක්ෂා කරනු ලබයි.
සඳුදා දිනයේ අවසන් මොහොත දක්වා සිදු වූ සාකච්ඡාවන් අතරතුර ගිවිසුම අවසන් කිරීමට තිබූ අවසාන බාධක ඉවත් කරන ගෙන ඇත. ඉන්දියාව සහ යුරෝපා සංගමය බලාපොරොත්තු වනුයේ බොහෝ අංශවල තීරුබදු අඩු කිරීමෙන් වෙළඳාම වැඩි දියුණු කර ගැනීමටය. 2024 දී දෙපාර්ශ්වය යුරෝ බිලියන 120 ක් වටිනා භාණ්ඩ, වෙළඳාම් කළ අතර එය වසර දහයක් තුළ 90%කට ආසන්න වැඩිවීමක් වන අතර සේවා කේෂ්ත්‍රය තුළ පමණක් එය යුරෝ බිලියන 60ක් ඉපයූ බව යුරෝපා සංගමය පවසයි.
යුරෝපා සංගම් ප්‍රකාශයකට අනුව, යුරෝපීය ආනයන සියල්ලම පාහේ, විශේෂයෙන් මෝටර් රථ, වයින් සහ තිරිඟු සඳහා වන ඉන්දියානු තීරුබදු දැඩි ලෙස අඩු කිරීම මෙම ගිවිසුමට ඇතුළත් වේ. වාහන සඳහා ඉන්දියානු තීරුබදු 110% සිට 10% දක්වාත්, වයින් සඳහා වන තීරුබදු 150% සිට 20% දක්වාත්, තිරිඟු සහ චොකලට් සඳහා වන තීරුබදු දැනට 50% ක් වන අතර, ඒවා සම්පුර්ණයෙන්ම ඉවත් කරනු ඇත. මෙම බදු අඩු කිරීම්වල වාර්ෂික පිරිවැය යුරෝ බිලියන 4ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ලොව වඩාත්ම ජනාකීර්ණ රට නියෝජනය කරන දැවැන්ත වෙළඳපොළ දෙස බ්‍රසල්ස් යුරෝපා සංගමයේ මුල්‍ය නගරය අවධානයෙන් සිටින අතර, ඉන්දියාවේ ජනගහනය බිලියන 1.5ක් වන අතර පසුගිය කාර්තුවේදී වසරින් වසර 8.2%ක ඉතා ශක්තිමත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රක්ෂේපණවලට අනුව, ඉන්දියාව මේ වසරේ ජපානය අභිබවා ගොස් ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් ජනපදය, චීනය සහ ජර්මනියට පිටුපසින් සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්දීය රජයට අනුව 2030ට පෙර ආර්ථික වශයෙන් ලෝකයේ තුන් වන ස්ථානයට ළඟා විය හැකිය.
ඉන්දියාවේ ප්‍රධාන උත්සුකතාවක් වනුයේ වානේ, ඇලුමිනියම් සහ සිමෙන්ති වැනි භාණ්ඩ ආනයනය සඳහා යුරෝපා සංගමය විසින් මෑතකදී හඳුන්වා දුන් කාබන් බදු වැනි තීරුබදු ඉවත් කිරීම වේ. ආනයනික මාදිලි වඩාත් මිල-තරඟකාරී කරමින් ලොව තුන්වන විශාලතම මෝටර් රථ වෙළඳපොළ වන ඉන්දියාවේ වෙළඳ පල තුළ තම මෝටර් රථ නිෂ්පාදකයින්ගේ තාක්ෂණයන් පුළුල් කිරීමට උපකාර කිරීම සඳහාත්, බ්‍රසල්ස් මෝටර් රථ සඳහා ආනයන තීරුබදු ගාස්තු අඩු කිරීමටද ඒ අනුව ඉන්දියාව එකඟ වී ඇත. ඒ අනුව ගිවිසුමේ කොටසක් ලෙස ඉන්දියාව යුරෝපීය සංගමයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා තීරුබදු 110% සිට 40% දක්වා අඩු කිරීමටද සැලසුම් කර ඇති බව ඉරිදා රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
නව දිල්ලි පාලනය යුරෝපයේ මැදිහත් වීම සලකනු ලබනුයේ ඉන්දියාවේ නවීකරණය වේගවත් කිරීමට සහ එහි ජනගහනය සඳහා මිලියන ගණනක් රැකියා නිර්මාණය කිරීමට දැඩි ලෙස අවශ්‍ය වන තාක්ෂණයන් සහ වෙළඳ ආයෝජනවලට තම වෙළඳ පල විවෘත කිරීම අත්‍යවශ්‍ය මූලාශ්‍රයක් ලෙස ය. චීනය සමග තරඟ කිරීමට අවශ්‍ය යටිතළ පහසුකම් දියුණු කිරීම, නව තාක්ෂනය, ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපයේ මැදිහත් වීම ඉන්දියාවට අත්‍යවශ්‍ය වේ. එසේම යුරෝපයේ සෘතුමය සේවකයින් සඳහා රැකියා අවස්ථා, සිසුන්, පර්යේෂකයින් සහ ඇතැම් ඉහළ කුසලතා ඇති වෘත්තිකයන් හුවමාරු කර ගැනීම මෙන්ම ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන්ද නවදිල්ලිය සහ බ්‍රසල්ස් අතර නව ගිවිසුමක් සඳහා සාකච්චා කිරීමටද දෙපාර්ශවය අදහස් කරයි.
“ඉන්දියාව සහ යුරෝපය පැහැදිලි තේරීමක් කර ඇත: උපායමාර්ගික හවුල්කාරිත්වය, සංවාදය සහ විවෘතභාවය,” වොන් ඩර් ලේන් X හි අවධාරණය කළේ, “අපි බිඳුණු ලෝකයකට තවත් මාර්ගයක් කළ හැකි බව පෙන්වමින් සිටිමු.”
එසේම ආරක්ෂක කේෂ්ත්‍ර වලදී නවදිල්ලිය එහි ඓතිහාසික රුසියානු සැපයුම්කරුගෙන් මත පමණක් යැපීම වෙනුවට එහි හමුදා උපකරණ මිලදී ගැනීම් විවිධාංගීකරණය කර ඇති අතර යුරෝපය ද ඇමරිකාව හා චීනය සම්බන්ධයෙන් ද එයම කිරීමට උත්සාහ කරනු ලබයි. අන්‍යෝන්‍ය සහයෝගීත්වය සහ ආරක්ෂක ප්‍රමුඛතා අභිසාරී වන තැන්වල, අදාළ නීතිමය රාමුවලට අනුකූලව, සුදුසු පරිදි, යුරෝපා සංගම් ආරක්ෂක සහයෝගීතා සඳහා වූ ඉන්දියානු සහභාගීත්වය සඳහා අවස්ථා නිර්මාණය කිරීමට දෙපාර්ශ්වය ගවේෂණ සිදු කරනු ඇත,” යයි අදාළ ලේඛනයේ සඳහන් වේ. මෙම හවුල්කාරිත්වයට ආරක්ෂක සහ ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර වාර්ෂික සංවාදයක් මෙන්ම, සමුද්‍රීය ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ත්‍රස්තවාදයට එරෙහිව සහයෝගීතාව වැඩි දියුණු කිරීම ද ඇතුළත් වේ.
කෙසේ වෙතත්, නවදිල්ලිය තම ගොවීන් ආරක්ෂා කිරීමට බැඳී සිටින අතර, කෘෂිකාර්මික හා කිරි නිෂ්පාදන මෙම ගිව්සුම තුලට ඇතුළු කිරීමට හෝ සාකච්ඡා කිරීමට එකඟ වී නැත. ඉන්දීය රජයේ නිලධාරියෙකුට අනුව, මාස පහක් හෝ හයක් ගතවන නීතිමය සමාලෝචන ක්‍රියාවලියකට පෙර ගිවිසුමේ විස්තර අඟහරුවාදා ප්‍රකාශයට පත් කෙරේ. “වසරක් ඇතුළත ගිවිසුම බලාත්මක වනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” යයි ඔහු මාධ්‍ය වෙත පවසා සිටියේය.
මෙම ඉන්දියා-යුරෝපා සංගම් ගිවිසුම කරලියට පැමිණෙන්නේ වඩාත් කතා බහට ලක් වූ දකුණු ඇමරිකානු කණ්ඩායමක් වන Mercosur සමඟ යුරෝපය වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් ටික කලකට පසුවය. පසුගිය වසරේ, යුරෝපා සංගමය විසින් ඉන්දුනීසියාව, මෙක්සිකෝව සහ ස්විට්සර්ලන්තය සමඟ ද වෙළඳ ගිවිසුම් අවසන් කළේය. එම කාලය තුළම, නවදිල්ලි පාලනයද මහා බ්‍රිතාන්‍යය, නවසීලන්තය සහ ඕමානය සමඟ ද නව ගිවිසුම් අත්සන් කරනු ලැබුවේය. තීරුබදු තර්ජන හරහා රටවල් බිය කිරීමෙන් නොනැවතී ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ගන්නා උත්සාහයන් යුරෝපීය රටවලට දැඩි ලෙස බලපා ඇත. එම නිසා මෙම හදිසි ගිවිසුම් මාලාව එක්සත් ජනපදයෙන් ආරක්ෂා වීමට ගන්නා ගෝලීය උත්සාහයන්ද පිළිබිඹු කිරීමක් විය හැකි බව දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයින් ගේ මතයයි.
තීරු බදු සම්බන්ධයෙන් ඉන්දියාව හා ඇමරිකාව අතර සංවාදය බිඳ වැටීමෙන් පසු පසුගිය වසරේ දෙරට අතර එකඟතාවයකට පැමිණීමට අසමත් විය. මෙම තත්වය මත දශක දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලින් පසු, බ්‍රසල්ස් සහ නවදිල්ලිය අතර ගිවිසුම මගින් ඉන්දියාව එහි ප්‍රධාන වෙළඳ හවුල්කරුවා ලෙස පවතින යුරෝපා සංගමයට තම වෙළඳපොළ විවෘත කරනු ලැබ ඇත. 2022 දී නැවත ආරම්භ කරන ලද සාකච්ඡා, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ වේගවත් විය, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියානු භාණ්ඩ සඳහා 50%ක තීරුබදු ඇතුළුව ඔහුගේ වෙළඳ හවුල්කරුවන් සඳහා තීරුබදු පැනවීමත් සමඟ යුරෝපා සංගමය හා ඉන්දියාව අතර සාකච්චා ත්‍රීව වනු දක්නට ලැබිණි. ඒ අනුව ඉන්දියාව හා යුරෝපා සංගමය දෙපාර්ශ්වයටම සමානව ලාභ ඉපයිය හැකි ගිවිසුමක් දක්වා එකඟ වීමට අවසානයේ බලකෙරී ඇත.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

