Latestදේශීය

තේ පඳු­රු­ යටින් දිවෙන කටුක ජීවිත කතාව

තේ පඳු­රු­ව­ලින් වැසුණු, නිල් පැහැ­යෙන් දිලෙන මධ්‍යම කඳු­ක­රයේ සුන්ද­ර­ත්ව­යට යටින් සැඟ වී ඇත්තේ ඉතා කටුක ඉති­හා­ස­යකි.

2023 ඔක්තෝ­බර් මාසයේ ජාතික ජන බල­වේ­ගය විසින් නිකුත් කරන ලද ‘හැටන් ප්‍රකා­ශ­නය’ මඟින් හඳු­නා­ගත් මලෛ­ය­ගම් ජන­තා­වගේ එම ඉති­හා­සය මීට වසර 200කට පෙර 1823 දී ආරම්භ වූ වහ­ල්බ­ව­කින් පටන් ගන්නා කතා­වකි.

ශ්‍රී ලංකාව ස්වර්ග පුර­යක් ලෙස විස්තර කර­මින්, “ඔබේ මව්රට වන ඉන්දි­යාවේ සොයා ගැනී­මට දුර්ලභ උම්බ­ල­කඩ සහ පොල් ලංකාවේ තේ පඳුරු යටින් සොයා­ගත හැකිය” යනු­වෙන් පව­ස­මින් රවටා මෙර­ටට ගෙන එන ලද දකුණු ඉන්දි­යානු කම්ක­රු­වන්, දුක් කම්ක­ටොලු සහ තාඩන පීඩන මැද ‘ලැයිම් කාමර’ නම් අති­ශ­යින් අඩු පහ­සු­කම් සහිත නිවා­ස­වල වෙසෙ­මින් ශ්‍රී ලංකාව ලොව පතළ කිරී­මට මෙන්ම රටට අවැසි විදේශ විනි­මය උපයා ගන්නට සිදු කළ මෙහෙය අම­තක කළ නොහැ­කිය.

ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකා නාමය ලොව පතළ කිරී­මට බොහෝ කල­කට පෙර, ‘සිලොන් ටී’ යන සන්නා­මය මඟින් මෙම කුඩා දිව­යින ලොවට දන්ව­න්නට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනි­මය උපයා දෙන්නට ඔවුන් දැරූ උත්සා­හය අති­ම­හත්ය.

ඉති­හා­ස­ගත ජය­ග්‍ර­හ­ණ­යක්

ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී වසර 78ක් ගත වී ඇති මේ කාලය තුළ මලෛ­ය­ගම් දෙමළ ජන­තාව යම් දියු­ණු­වක් ලබා ඇතත්, තව­මත් නොවි­ස­ඳුණු ගැටලු රාශි­යක් ඉතිරි වී පැව­තිණි.

එහෙත් මේ වස­රේදී සිදු වූ ඉති­හා­ස­ගත සිදු­වීම වන්නේ ලැයිම් කාම­ර­වල ඉපදී දලු නෙළන දෙමා­පි­යන්ට උපන් කාන්තා­වන් දෙදෙ­නකු මලෛ­ය­ගම් ප්‍රජාව නියෝ­ජ­නය කර­මින් දස­වන පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වී­මයි. ක්‍රිෂ්ණන් කලෛ­ච්චෙල්වි සහ අම්බිගා සැමු­වෙල් යන ඔවුන් දෙදෙනා 78 වැනි නිද­හස් දිනය සම­රන මේ කාල­යේදී ම‍ෙලෙ­ය­ගම් ජන­තා­වගේ සැබෑ නිද­හස සනි­ටු­හන් කරති.

“කඳු­ක­ර­යෙන් පාර්ලි­මේ­න්තු­වට කාන්තා­වන් තේරී පත්ව ඇතත්, ඔවුන් එක්කෝ දෙමා­පි­යන් දේශ­පා­ල­නය කළ නිසා හෝ ධන­වත් පවු­ල්වල අය වූ නිසා එම තන­තුරු ලබා ගත් අයයි.

ඒ නිසා ම‍ෙලෙ­ය­ගම් ජන­තාව ඉංග්‍රීසි ජාති­ක­යන් යටතේ කළ වහල් සේවය දිග­ටම කර­න්නට සිදු වූවා” කලෛ­ච්චෙල්වි මන්ත්‍රී­ව­රිය සාක­ච්ඡා­වට එක් වෙමින් පැව­සු­වාය.” දේශ­පා­ල­න­ඥ­යන්ට අවශ්‍ය වූයේ ම‍ෙලෙ­ය­ගම් ජන­තා­වගේ ඡන්ද බලය පෙන්වා සෑම රජ­ය­කම ඇමැ­ති­ක­මක් ලබා ගැනී­මයි. මෙම ජන­තාව වහ­ල්භා­ව­යෙන් නිද­හස් කිරීමේ අව­ශ්‍ය­තා­වක් කිසි­වෙ­කුට තිබුණේ නැහැ.”

මලෛ­ය­ගම යන නම තුළ තිබෙන අභි­මා­නය

ජාතික ජන බල­වේ­ගය 2023 ඔක්තෝ­බර් මාසයේ ‘හැටන් ප්‍රකා­ශ­නය’ මඟින් ප්‍රථම වතා­වට මෙම ප්‍රදේ­ශය ‘මලෛ­ය­ගම’ ලෙසත්, එහි ජනයා ‘ මලෛ­ය­ගම් ජන­තාව’ ලෙසත් පිළි­ගැ­නී­මට ලක් කළේය. මෙතෙක් කල් වතු කම්ක­රු­වන් ලෙස හඳු­න්ව­මින් ඔවුන් මෙරට වෙනත් ජන­කො­ට­ස්ව­ලින් වෙන්කර දැක්වූ අතර මෙම නව හඳුනා ගැනීම සුවි­ශේෂී වැද­ග­ත්ක­මක් ගනියි.

නිවාස ප්‍රශ්න­යට විස­ඳු­මක්

මලෛ­ය­ගම ජන­තා­වට තව­මත් පව­තින විශාල ගැට­ලු­වක් වන්නේ නිවාස ගැට­ලු­වයි. ලැයිම් නිවා­ස­වල ඉඩ­කඩ සීමිත වන අතර කාමර දෙක තුනක පර­ම්පරා දෙක තුනක් වාසය කරයි. කිසිදු පෞද්ග­ලි­ක­ත්ව­යක් නොමැති මෙම තත්ත්වය හේතු­වෙන් දරු­වන් අප­යෝ­ජ­න­යට ලක්වීමේ අවස්ථා ද බහු­ලය.

“සියලු දෙනාට පර්චස් දහ­යක් බැගින් දීම ප්‍රායෝ­ගි­කව කළ නොහැ­කියි.

අව­දා­න­මෙන් තොර ස්ථාන­වල නිවාස තැනී­ම­ටත්, ඇතැම් විට තට්ටු නිවාස ගොඩ­නැ­ඟී­ම­ටත් අපි සැල­සුම් කර තිබෙ­නවා.” අම්බිගා සැමු­වෙල් මන්ත්‍රී­ව­රිය ද සාක­ච්ඡා­වට එක් වූවාය. “අපි ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නයේ උප­දෙස් ලබා­ග­නි­මින් මෙම ප්‍රශ්න­යට රජය සමඟ කට­යුතු කර­මින් සිටි­නවා.”

වැටුප් වැඩි­වීමේ විශේ­ෂ­ත්වය

මාසික වැටුප රුපි­යල් 1,350 සිට රුපි­යල් 1,750 දක්වා වැඩි කිරීම තවත් සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යකි. “මෙතෙක් කල් වැටුප් වැඩි කර­ගත්තේ වතු කම්ක­රු­වන් හා සමා­ගම් කතා කර, බොහෝ විට සටන් කර ඉතා සොච්චම් මුද­ලක් ලබා ගනි­මින්. එහෙත් මේ වතාවේ කිසිදු සට­නක් නොකර ජනා­ධි­ප­ති­තු­මාගේ සහ මන්ත්‍රී­ව­රුන් 159 දෙනා­ගේම මැදි­හ­ත්වී­මෙන් මෙය ලබා ගැනී­මට හැකි වුණා” කලෛ­ච්චෙල්වි මන්ත්‍රී­ව­රිය ප්‍රකාශ කළාය.

යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය

දීර්ඝ කාල­යක් තිස්සේ වතු ආශ්‍රිත මාර්ග කිසිදු සංව­ර්ධ­න­ය­කින් තොරව පැව­තුණි. “වතු ආශ්‍රිත මාර්ග සංව­ර්ධ­නය සඳහා වග­කි­ව­යුතු කිසි­වෙකු සිටියේ නැහැ. වතු පාල­ක­යන් පැව­සූයේ එම මාර්ග තමන්ට අයිති නොවන බවයි. එහෙත් දැන් එම මාර්ග ප්‍රාදේ­ශීය සභා­වට අයත් වන අතර මාර්ග සංව­ර්ධ­නය කඩි­න­මින් සිදු වෙමින් තිබෙ­නවා” අම්බිගා සැමු­වෙල් මන්ත්‍රී­ව­රිය පැහැ­දිලි කළාය.

අධ්‍යා­ප­නය ඉදිරි පර­ම්ප­රා­වට ආලෝ­ක­යක්

අධ්‍යා­ප­නය ගැන අද­හස් දක්ව­මින් දෙදෙ­නාම එක හඬින් කතා කළහ. “අපේ කලින් නාය­කයෝ අපේ දරු­වන්ට හොඳ ගුණා­ත්මක අධ්‍යා­ප­න­යක් දෙන්නට උනන්දු වූයේ නැහැ.

ඔවුන් උග­න්ව­න්නට පත් කළේ උසස් පෙළ සමත් ගුරු­ව­රුන්. අපේ දරු­වන්ට උපා­ධි­ධාරී ගුරු­ව­රුන් ලබා දීමට කට­යුතු කළේ නැහැ” යැයි කලෛ­ච්චෙල්වි මන්ත්‍රී­ව­රිය පැව­සු­වාය.

“අපි විශ්වාස කරන්නේ මේ දරු­වන්ට ඉදි­රි­යට යාමට තිබෙන හොඳම මාර්ගය අධ්‍යා­ප­නය බවයි. ඔවුන් හොඳින් ඉගෙන ගත්තොත් තමයි වෙනත් ප්‍රදේ­ශ­වල ජන­තාව සමඟ සමා­නව ජීවත් වීමට හැකි වන්නේ. අපි හිත­නවා අපෙන් පසුව මලෛ­ය­ගම නියෝ­ජ­නය කර­මින් තරුණ තරු­ණි­යන් වැඩි සංඛ්‍යා­වක් පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වෙයි කියලා.”

ලැයිම් කාම­ර­වල ඉපදී දලු නෙළන දෙමා­පි­යන්ගේ දරු­වන් ලෙස පාර්ලි­මේ­න්තු­වට තේරී පත්වීම තමන් වැනි තවත් බොහෝ අයට ඒ සඳහා දොරටු විවෘත කිරී­මක් බව ඔවුහු විශ්වාස කරති.

78 වන නිද­හස් දිනය සම­රන මේ දින­වල සැබෑ අර්ථ­යෙන් නිද­හස ලබා ඇත්තේ මලෛ­ය­ගම් ජන­තාව බව ඔවුන්ගේ ප්‍රකා­ශ­ව­ලින් පැහැ­දිලි වේ.

එමෙන්ම නව අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ තුළින්ද මලෛ­ය­ගම් ජන­තා­වගේ දරු­වන්ට අනා­ග­තය ජය ගන්නට හැකි වනු නොඅ­නු­මා­නය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *