විදුලි ගාස්තු වැඩිවෙයි
මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒකමතිකව අනුමැතිය දී ඇති අතර, නව විදුලි ගාස්තු අප්‍රේල් 1 දා සිට ක්‍රියාත්මකය. එක් එක් විදුලි පාරිභෝගික කාණ්ඩ අනුව ඒකකයට ප්‍රතිශතයක් ලෙස මෙම විදුලි ගාස්තු සංශෝධනය සිදු කර ඇත. ඒ අනුව ඒකක 30ට අඩු, ගාස්තුව වැඩි වන්නේ 4.3%කිනි. ඒ අනුව මාසික බිල්පත රුපියල් 15කින් පමණ වැඩි වේ.
ඒකක 31 – 60, ගාස්තුව 6.9%කින් වැඩි වන අතර, එය රුපියල් 45ක පමණ වැඩි වීමකි. ඒකක 61 – 90, ගාස්තුව 6.9%කින් වැඩි වන අතර, එය රුපියල් 120ක පමණ වැඩි වීමකි. ඒකක 91 – 180, සමස්ත කාණ්ඩය සඳහාම ගාස්තු 7.1%කින් වැඩි වන අතර, එය රුපියල් 420ක පමණ වැඩි වීමකි. ඒකක 180ට වැඩි, මෙම කාණ්ඩය සඳහා 25%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දමා ඇත. ලංකා විදුලිබල මණ්ඩලය විසින් සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා 13.56%ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කර තිබුණි. මෙම යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව උතුරු, මධ්‍යම, දකුණු, නැඟෙනහිර සහ බස්නාහිර යන පළාත් පහක මහජන අදහස් විමසීම් (Public Consultations) පවත්වන ලදි.
එහිදී පාර්ශ්වකරුවන් 250කට අධික සංඛ්‍යාවක් ලබා දුන් අදහස්, ආර්ථිකයට වන බලපෑම සහ විදුලිබල මණ්ඩලයේ වියදම් පිළිබඳ විද්‍යාත්මක හා වෘත්තියමය විශ්ලේෂණයකින් පසුව මෙම අවසන් තීරණයට එළඹ ඇත. විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පොදු වැඩිවීම වෙනුවට, අඩු ආදායම්ලාභීන් සහ දේශීය කර්මාන්ත ආරක්ෂා වන පරිදි කාණ්ඩ අනුව ගාස්තු සංශෝධනය කර ඇත. විශේෂිත අංශ සඳහා ගාස්තු සංශෝධනය කර ඇත්තේ මෙසේය. ආගමික ස්ථාන, මාසික පරිභෝජනය ඒකක 180ට අඩු ස්ථාන සඳහා ගාස්තු වැඩි නොකිරීමට තීරණය කර ඇත. ඒකක 180ට වැඩි ස්ථාන සඳහා 9.6%ක වැඩි වීමක් අනුමත කර ඇත.
කර්මාන්ත අංශය, රටේ ආර්ථිකයට සහ අපනයන කර්මාන්තයට වන බලපෑම සලකා ගාස්තු වැඩිවීම 8.7%කට සීමා කර ඇත. හෝටල් අංශය ගාස්තු 9.9%කින් ඉහළ දමා ඇත. රජයේ ආයතන ගාස්තු 14.1%කින් ඉහළ දමා ඇත. පොදු කාර්ය කාණ්ඩය ගාස්තු 8%කින් ඉහළ දමා ඇත. විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා කාර්යබහුල වේලාවන්හිදී (පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා) වැඩි ගාස්තුවකුත්, ඉල්ලුම අඩු කාලවලදී (Off-peak) අඩු ගාස්තුවකුත් අය කෙරෙන පරිදි පාරිභෝගිකයන්ට සංඥාවක් ලබා දී ඇත. මෙම ගාස්තු තීරණය පෙබරවාරි 13 වැනි දින ඉදිරිපත් කළ දත්ත මත පදනම් වූවකි. ලෝක දේශපාලන තත්ත්වය මත ඉන්ධන මිල විශාල ලෙස ඉහළ ගියහොත්, ඒ අනුව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට විදුලිබල මණ්ඩලයට අවස්ථාව පවතින අතර කොමිෂන් සභාව එය නැවත සලකා බලනු ඇත. මීට අමතරව, ස්ථාවර ගාස්තුවේ (Fixed Charge) කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර, ගල්අඟුරු සම්බන්ධයෙන් පවතින තාක්ෂණික ගැටලු මෙම මූල්‍යමය ගාස්තු සංශෝධනයට සෘජුව සම්බන්ධ කර නොමැති බව ද සඳහන් වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

