Latestදේශීයමතවාදසංස්කෘතික

පොත් තහනම, ජේ. ආර්. සහ සුනිල් සෙනෙවි

(මහේෂ් මුණසිංහ)

ෆැරන්හයිට් 451 (Fahrenheit 451) නම් වූ ඩිස්තෝපියානු නවකතාව ලියූ ඇමෙරිකානු ජාතික රේ බ්‍රැඩ්බරි (Ray Bradbury) පැවසුවේ සංස්කෘතියක් විනාශ කිරීමට ඔබට පොත් පුළුස්සා දැමීම ම අවශ්‍ය නැති අතර ඔබ සිදු කළ යුත්තේ මහජනයාව පොත් කියවීමෙන් වළක්වාලීමයි.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන යාපනයේ පුස්තකාලය ගිනිතැබූ අතර වත්මන් පුනරුද ආණ්ඩුවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ඇමතිවරයා කියවීම වැළැක්වීමට පොත් තහනම් කර ඇත.

ලේඛක දීපචෙල්වන් ගේ පොත් තහනම් වන්නේ ඔහු දෙමළ වීම ම නිසාවෙනි. රේගුවේ ඔය කියන අහුඹු පරීක්ෂාවට ලක්වන්නේත් ඒ දෙමළාමය. අවන්ත ආටිගල නිවැදිවම කාටූනගත කළාක් මෙන් මහ ජාතියේ හිස් සිංහයා තුළ සිරගත කරන්නේ ඒ සම්මානනීය දෙමළ ලේඛක දීපචෙල්වන්ය.

පසුබිමෙහි මේ පොත් තහනම සම්බන්ධව සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරක්ෂක අමාත්‍යංශය ඇති බව පැහැදිලි මුත් මේ වන විට රේගුව විසින් එහි වගකීම ලිඛිතවම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත පැවරීම නිසාවෙන් මෙම පොත් තහනම් කිරීමේ පූර්ණ වගකීම එහි අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මත පැටවී ඇත.

ඇමති හිනිදුම සුනිල් සෙනවි යනු ලේඛකයෙකි. මාලිමා මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ප්‍රකාශනයේ නිදහස අහිමි කරන ආණ්ඩුවලට එරෙහි වීම සහ එවැනි ආණ්ඩුවලට කිසිවිටෙකත් සහයෝගය නොදෙන බැව් මයික් මත පුන පුනා දෙසූවෙකි. පුනරුද යුගය යැයි පැවසූ ආණ්ඩුවක එවැන්නෙකු විසින් එවැන්නෙකු යටතේ පිහිටවූ කලා මණ්ඩලයක නිර්දේශ මත මේ පොත් තහනමට පත් කිරීමට සිදුවීම හාස්‍යජනකය. ඔහු වෙනුවෙන් ඔහු ඇමති පත්වීම ලද මොහොතේ අසීමිත ගුණ වර්ණනා සිදුකළ, සුබ පැතුම් එකතු කළ දස දහස් ගණනකට නම් මෙය ඛේදජනකය.

ඇමති හිනිදුම සුනිල් සෙනවි, මේ තීරණය සමඟ එකඟවන්නේ නම් එය මොහුගේ දේශපාලන අර්බුදයකි. නිර්ලජ්ජිත අවස්ථාවාදී කමකි. මේ තීරණය සමඟ ඒකඟනොවී තවත් පාර්ශවයක එහෙයියෙක් වී නිශ්ශබ්දව සිටී නම් මෙය ඔහුගේ කොන්ද පිළිබඳ ප්‍රශ්ණයකි.

ඒ කෙසේ වෙතත් වත්මන් භාවිතාව තුළ හිනිදුම සුනිල් සෙනෙවි ඉතිහාසයට එකතු වන්නේ පුනරුද ආණ්ඩුවේ පොත් තහනම් කළ ඇමතිවරයා වශයෙනි.

එමෙන්ම, විජේසිරිවර්ධන සහ වැලිසරගේ වැන්නවුන් ඉතිහාස ගතවන්නේ පොත් තහනම් කළ කලා පොලීසිය යනුවෙනි.

ඉල්ලා අසුවූ කිහිපදෙනා හැරෙන්නට විවිධාකාර අනුමණ්ඩලවල සාමාජිකයින් “පොත් තහනම් කරන විට පුනරුද ආණ්ඩුවේ තනතුරු දරා උඩබලා සිටියවුන්“ ලෙසය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *