සාම පා ගමන අද දළදා මාලිගාවෙන් ඇරඹෙයි

තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවහිංසාව පිළිබඳ පණිවිඩය ලෝකයට රැගෙන යාම අරමුණු කරගෙන ගෞරවනීය වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන ඒහිපස්සිකෝ සාම පාදයාත්‍රාවේ තුන්වැනි දිනය වන අද (24) දිනයේ පාදයාත්‍රාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මේ අතර, මෙම සාම පාද යාත්‍රාවට සමගාමීව වනාන්තර සංරක්ෂණය උදෙසා වැදගත් පියවරක් ලෙස වනාන්තර කලාප දෙකක් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුගගහමූල වනාන්තරය සහ ගම්පොළ ප්‍රදේශයේ වනාන්තර කලාපය රක්ෂිත වනාන්තර ලෙස නම් කිරීමට නියමිතය. පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳිගේ මහතා සඳහන් කළේ, අදාළ සංදේශය සාම පාදයාත්‍රාවේ නිරත මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
ඊයේ (23) උදෑසන මාතලේ අළුවිහාරයෙන් ආරම්භ වූ සාම පාදයාත්‍රාව අලවතුකඩ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානය වෙත පැමිණ දහවල් සංඝික දානමය පින්කමක් පැවැත්වීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම කරනු ලැබීය. මෙම සාම පාදයාත්‍රාවට දැඩි අව් රශ්මිය නොතකා දහස් සංඛ්‍යාත ජනතාවක් සුදු ඇඳුමින් සහභාගීව සිටින අතර, බෞද්ධයන්ට අමතරව අනෙකුත් ආගමික සහ ජාතික කණ්ඩායම්වල පිරිස්ද සහභාගීව සිටීම විශේෂත්වයක් වේ. මෙම අවස්ථාව සහජීවනය හා සාමය පිළිබඳ ලෝකයට පණිවිඩයක් ලබාදෙන අවස්ථාවක් ලෙස සැලකේ.

මාර්ගය දෙපස රැඳීසිටින ජනතාවට, ස්වාමීන් වහන්සේලාගේ ගමනට බාධා නොවන ලෙස මාර්ගයේ එක් පැත්තකට පිවිස ආශිර්වාද එක් කරන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති. පළමුව තමන් තුළ සාමය වර්ධනය කරගනිමින් ලෝකයට සාමයේ පණිවිඩය රැගෙන යාම වැදගත් බව මෙහිදී අවධාරණය කෙරේ.
අද (24) ශ්‍රී දලදා මාලිගාවෙන් ආරම්භ කළ සාම පා ගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් කිරීමට නියමිතය. හෙට (25) පොත්ගුල් විහාරයෙන් ආරම්භ කෙරෙන සාම පා ගමන තෝලංගමුව ජාතික පාසල දක්වා පැමිණෙයි. 26 වැනි දා සාම පාගමන එම විද්‍යාලයේ සිට යක්කල අබේසේකරාරාමය දක්වා ගමන් කිරීමට නියමිතය. 27දා සාම පාගමන යක්කල අබේසේකරාරාමයේ සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා පැමිණෙයි.
අප්‍රේල් 28දා පෙ.ව. 11.00 ට කැලණි රජමහා විහාරස්ථානයේදී පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. පසුව කැලණි විහාරයෙන් ආරම්භ කෙරෙන සාම පාගමන නිදහස් චතුරස්‍රය දක්වා පැමිණීමට නියමිතව තිබේ. 28 වැනි දා ප.ව. 4.00ට නිදහස් චතුරස්‍රයේදී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් රාජ්‍ය උත්සවයක්ද පැවැත්වේ. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ අංකුර පැළය නිල වශයෙන් භාර දීමට නියමිතව ඇත. නැවත ප.ව. 5.30ට ආරම්භ කෙරෙන පාගමන ප.ව. 7.00ට ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය, ‘Clean Sri Lanka‘ වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහනට සහය ලබාදෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

