Latestදේශීයනවතම ලිපිමතවාද

සලේ සැලේ – ගම්මන්පිල හැලේ

(සනත් බාලසූරිය)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ අන්තිමේ දී නීතීඥ උදය ගම්මන්පිල සිය නීතීඥ තනතුරෙන් එළවා දැම්මේ ය.

ඇත්තටම තමන් හා ත්‍රස්ත(වෙච්ච) විශේෂඥ රොහාන් ගුණරත්නගේ පාස්කු මහමොළකරු කහලගොඩත්, පිල්ලෙයාන්ගේ දේශප්‍රේමී – රණවිරු කුණපයත් පමණක් නොව රනිල් වික්‍රමසිංහගේ කොමිසං නාඩගං වැනි ඕනෑම කුණුගොඩක් නහයක් කටක් නොවසා ම අද්දවාගන්නට තිබෙන ලාබ කුණු කරත්තයක් වන් ගම්මන්පිලව සලේ මේ අන්දමින් පන්නා දමන්නේ ඇයි?

ගම්මන්පිල සලේට එපාම වන්නට ඇත්තේ ඇයිදැ’යි යන්න කාට ප්‍රශ්නයක් වුවත් අපටනම් මහ ගැටලුවක් නොවේ.

ඒකට හේතුව වන්නේ ‘පාස්කු මහමොළකාර නාටකයේ’ තිරපිටපත එළිදැක්වීමෙනුත් පසුව ගම්මන්පිල ප්‍රසිද්ධියේ කී ගොන්-මෝඩ-තකතීරු කතා ය.

සලේ ගැන කියන්නටත්, තම පොත ගැන කියන්නටත්, තමන්ගේ පොත එළියට දමන්නට නොදී තමන් අත්අඩංගුවට ගන්නා බවට බොරු ඇදබාන්නටත් ආදී වශයෙන් එක පිට එක මාධ්‍ය සාකච්ඡාමය විහිළු සැසි කිහිපයක්ම පැවැත්වූ ගම්මන්පිල, පොත පිටවූවායින් පසු තවත් අපූරු මාධ්‍ය විගඩමක් නටමින් කියාසිටියේ තමන් පොත පිටකරන්නට කලින් ඒකේ පීඩීඑෆ් පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් නිකුත්කරනු ලැබ ඇති බව ය.

තමන් පොත පිටකරන දවසේ, ඒ රැස්වීමට ඇවිත් හිටි අයට පවා, ඒ මොහොතේ ම වට්ස්ඇප් වැනි යෙදවුම් ඔස්සේ ඒ පිටපත ලැබුණු බව, මේ කියන ‘පීඩීඑෆ් ක්‍රියාන්විතයෙන්’ අන්ද මන්ද වූ ගම්මන්පිල කියාසිටියේ ය.

ගම්මන්පිලට අනුව මේ ‘ක්‍රියාන්විතය’ මෙහෙයැවී ඇත්තේ කෙසේද?

මුද්‍රණයට සූදානම් කරමින් සිටි ‘තමන්ගේ පොතේ’ අත්පිටපත් කොපියක් ගම්මන්පිල සලේට දී තිබේ.

අච්චර මහා බුද්ධි විශේෂඥයකු වූ සලේ යන යන තැන ගිහින් ඇත්තේ මෙච්චර වටිනා පොතේ අත්පිටපත මල්ලක දමාගෙන ය. (ගම්මන්පිලගේ කතාවෙන් තේරෙන්නේ ඒක සලේ සිය බුලත් මඩිස්සලය, දුංකුඩු හෙප්පුව වැනි අත්‍යාවශ්‍ය කල-හලමනා දාගෙන, යන-යන තැන උස්සං යන මල්ලක් බව ය.) ඒ මල්ලත් එක්කම අත්අඩංගුවට පත් සලේගේ මල්ලේ තිබී ශානිට මේ පොතේ අත්පිටපත හමුවී ඇත.

තමන් යන යන තැන එල්ලං ගිය මල්ලේ මේ පිටපත තිබූ බවවත්, තමන් සීඅයිඩීයට අහුවූණේ ඒ මල්ලත් සමගම බවවත්, ඒ මහානර්ඝ පිටපත ටක්කෙටම ශානිලා ගන්නට ඇති බවවත්, ගම්මන්පිල එළියට දාන්නට පෙර ශානිලාම ඒ පොත එළියට දාන්නට ඉඩ ඇති බවවත් නීතීඥ ග්‍රන්ථ කර්තෘ ගම්මන්පිලට, තමන් බැහැදකින්නට නීතීඥ වේෂයෙන් ආ වෙලාවේවත් සලේ නම් මේ මහා බුද්ධි විශේෂඥයා කියා නැත. සලේ එය සුවිශේෂී බුද්ධි තොරතුරක් ලෙස ගම්මන්පිලට දැනුම් දිය යුතුව ම තිබූ එකක් බව බුද්දි විශේෂඥයකුට නොව ඕනෑම සිහිමොළේ ඇත්තකුට වුව වැටහේ.

සලේ හෙළිදරව් නොකළ මේ ක්‍රමන්ත්‍රණකාරී ක්‍රියාන්විතය – එනම් තමන්ගේ පොත සලේගේ මල්ලෙන් හොරාගෙන පීඩීඑෆ් හදා ශානි බෙදාහැර ඇති බව – ගම්මන්පිල දන්නේ පොත එළිදක්වන දවසේ ඒ උත්සවය ඉවර වුණාටත් පසුව ය.

කොහොමද විශ්වාසවන්තකමට බුද්දි විශේෂඥ සලේට පොතේ අත්පිටපත දීලා ගම්මන්පිල ඇරගත්තු ඇරගැනිල්ල?

මේ අලකලංචිය හිරගෙදරටම ආරංචි වූ විට සලේට වහ කන්නට හිතී ඇත. ගම්මන්පිලයා තමන්ගේ සායම හෝදලාම දාලා ඇති බව සලේට සිතී ඇත. මන්ද යත්, සලේ නම් මේ මහා බුද්ධි විශේෂඥයාට තමන්ගේ නීතීඥයා වූ ද, තමන් විශ්වාස කර හරි වැරැදි බලන්නැයි කියා තමන්ගේ මහානර්ග ග්‍රන්ථ රත්නයේ අත්පිටපත් රාජයකු ලබාදුන්නා වූ ද නීතීඥ ග්‍රන්ථ කතුවරයාගේ විශ්වාසය රකින්නට බැරිවී ඇති බව ය, කතුවරයාගේ කතාවෙන් කියැවෙන්නේ.

ඒ විතරක්ද? ඒ තරම් වටිනා පොතක් ඔහු කිසිම ඉවක් බවක් නැතිව යන යන තැන ගෙනියන මල්ලේ දාගෙන ගොස් ඇත. ඒකත් එක්කම සීඅයිඩීයටත් අහුවෙලා ඇත. මල්ලේ තිබී ශානිලා ඒ පිටපත ගන්නට ඇති බව හෝ එසේ රැගෙන කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්නට ඉඩ ඇති බව හිතන්නට තරම් සලේට බුද්ධියක් තිබිලාත් නැත.

ඒ කියන්නේ, තමන් අත පොතේ පිටපතක් තිබුණාය, එය තිබුණේ තමන් තැන තැන ගෙනියන මල්ලේ ය, තමන් අහුවුණේ ඒ මල්ලත් එක්කමය යන තොරතුරු ටික පෙළගස්වා ගන්නට සලේට බැරිවී ඇත. ඒක ශානිලා ගන්නට ඇතැයි අනුමාන කරන්නට සලේට බැරිවී ඇත. පොත පිටවන්නට කලින් ශානිලාම එය එළියට දමන්නට හෝ වෙන කඩාකප්පල්කාරී වැඩක් කරන්නට ඉඩ ඇතැයි යන උපකල්පනයට එන්නට සලේට බැරිවී ඇත. මේ කියන තොරතුරු, අනුමාන හා උපකල්පන යන සියල්ල එකට දමා බුද්ධි තොරතුරක් ලෙස එය සංවර්ධනය කරන්නට සලේට බැරිවී ඇත. ඒ බුද්ධි තොරතුර අදාළ පුද්ගලයාට/පුද්ගලයන්නට (මෙතනදී නම් ගම්මන්පිලට – සලේගේ පරණ ගරු ගාම්භීර තනතුරේ හැටියට නම් ආරක්ෂක කවුන්සලයට හා ජනාධිපතිවරයාට) ලබාදෙන්නටත් සලේ අසමත් වී ඇත.

පොතක් පළකිරීම නම් මේ කුඩා වැඩේට අදාළව සලේගේ බුද්ධි මෙහෙයුම තනිකරම ෆේල් නොවේද?

ගම්මන්පිලගේ කතාවෙන් පෙනෙන්නේ එල්ටීටීඊය පරද්දන්නට ඉහළම බුද්ධි කෙරුවාව කළාය කියන, කාලයක් ඉහළම බුද්ධි තනතුරු දැරූ සලේට, පාස්කුදින ප්‍රහාරය වැනි මහා ත්‍රස්ත මෙහෙයුමක් තබා තමන්ගේ නීතීඥයා/හිතවතා/විශ්වාසවන්තයා ගහන්නට යන පොතවත් ආරක්ෂා කර දෙන්නට තරම් බුද්ධියක් තිබී නැති බව ය.

ඉතින්, ඇත්තම වුණත් මේ ජාතියේ කතා ප්‍රසිද්ධියේ කියා තමන්ගේ සායමත් හෝදලාම යවන මන්ද බුද්ධිකයෙක් තමන්ගේ නීතීඥ කමේ තබාගැනීමෙන් තමන්ට මේ ආත්මය ම පමණක් නොව තවත් උපනූපන් ආත්ම ගණනාවක් යන තුරුත් හිරේ විලංගුවේ ම ඉන්නට සිදුවනු ඇති බව සලේට නොතේරුණා නම් සලේ බුද්දි විශේෂඥයෙක් නොව සාමාන්‍ය බුද්ධියක් ඇති මනුස්සයකුවත් නොවනවා ඇත‍.

ඉතින් සලේ ගම්මන්පිල පන්නාදැමීම අහන්ඩත් දෙයක්ද?

එක් මාධ්‍ය විගඩම් සාකච්ඡාවක ගම්මන්පිල කීවේ ජාතික බුද්ධි සේවයටත් වඩා බලවත් බුද්ධි සේවයක් තමන්ගේ පක්ෂය වන පිවිතුරු හෙළඋරුමයට තියෙන බව ය. (අපේ තොරතුරුවලට අනුව ඇත්තටම එහි සිටින නායකයාත්, සභාපති-ලේකම්-භාණ්ඩාගාරිකත්, එකම සාමාජිකයාත් ගම්මන්පිල ම පමණි.) තමන්ගේ පොතට ශානි කරන්නට යන සන්තෑසිය ගම්මන්පිලගේ ඒ දැවැන්ත (මන්ද)බුද්දි සේවාවටත් වැඩේ සිද්දවෙලා අවසන් වෙනකං අහුවෙලා නැත.

කොහොමද ‘පිවිතුරු හෙළ’ බුද්දි බලේ!

ගම්මන්පිලගේ භූමිකාව කුමක්ද යන්න ගැන පසුගිය බ22 පැවැති නඩුවාරයේ දී ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී විවාදාපන්න කතාබහක් ඇතිවිය. ඔහු නීතීඥයෙක්ද නැතිනම් පොත් ලියා පළකරන්නෙක්ද යන්න උසාවියටත් ගැටලුවක් විය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මෙහි දී පවසා තිබුණේ, නීතීඥයකු ලෙස සැකකරුවෙකු වෙනුවෙන් පෙනී ඉන්නා ගමන් සැකකරු ලබා දෙන තොරතුරුත් තමන්ගේ අදහසුත් කලවම් කර පොත් ලියා පළකරනවා නම් එය නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව ය.

මහේස්ත්‍රාත්වරයා මීට පෙර සලේගේ තත්ත්වය නිරීක්ෂණය කරන්නට සීඅයිඩීයට ගිය වේලේත් සලේ පවසා ඇත්තේ තමන්ගේ නීතීඥයා ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ඇත්තේ ‘අසිත්’ නම් නීතීඥයා පමණක් බව ය. ඒ බව මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ දී පවසා සිටියේ ය.

මේ ගැටලුව හමුවේ ඉදිරියට පැමිණි සලේගේ නීතීඥයා වන අසිත් සිරිවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ, සලේ වෙනුවෙන් පෙනීසිටින්නේ තමන් පමණක් බවත්, මින් ඉදිරියට සලේ හමුවීමට රැඳවුම් ස්ථානයට යන්නේ තමන් හෝ සිය කනිෂ්ට නීතීඥයා පමණක් බවත් ය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කෙලින්ම සලේගෙන්මත්, උසාවියේ දී සලේගේ නිල නීතීඥයාගෙනුත් ගම්මන්පිලගේ ‘නීති ගැටේ’ කැපීගොස් අවසාන ය‍.

සුරේෂ් සලේ සහ පිල්ලෙයාන් යන සැකකරුවන් දෙ දෙනාම බලන්නට තමන් ගිය ගමන් ගම්මන්පිල ම හැඳින්වූයේ ‘නීති ගැටයක් ගසා සැකකරුවන් හමුවීමට ගිය ගමන්’ හැටියට ය. මේ සටකපට කමක් හඟවන ‘ගම්මන්පිල්ලෙයානු’ හැඳින්වීමෙන් ම පැහැදිළි වන්නේ, ඔහු මේ අවස්ථා දෙකේදී ම ඉටුකර ඇත්තේ නීතීඥයකුගේ වෘත්තීය කාර්ය භාරයක් නොව, එම වෘත්තියේ වරප්‍රසාද කූට අරමුණක් වෙනුවෙන් යොදාගැනීමක් බව ය.

අපගේ නිරීක්ෂණයට අනුව ගම්මන්පිල ‘පාස්කු මහමොළකරු’ නම දාගෙන පොතක් ලියා පළකළාය යි කීම නිවැරැදි නැත. ඇත්තටම ඔහු කර ඇත්තේ කිහිප දෙනකු විසින් කියන ලද ඒවා පිටපත් කර, විවිධ කොමිසම් සහ විමර්ශන කමිටු වාර්තාවලින් කෑලි අහුලා තැනින් තැනින් අලවා, අන්තර්ජාල සෙවුම්වලින් හදිසියේ එකතුකරගත් පදාස පිටින් පද පෙරලා අමුණා, ඒ සියල්ල මූට්ටු කිරීමට තමන්ගේ අදහස් ටිකක් ඒ අස්සට රිංගවා ගැටගැසීමකි. මේවාට ‘පොත් ලියනවා’ කියන්නේ පොත් ලියනවා කියන එකේ තේරුමවත් නොදන්නා බුද්දි-අංස-බාග ය.

සලේගේ නීතීඥයා ලෙස ඔහු හමුවීමට එවකට ඔහුගේ රැඳවුම් ස්ථානය වූ සීඅයිඩීයට ගම්මන්පිල යන්නේ සලේගේ බිරිය විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත දැනුම්දීමකින් ඔහු සලේගේ නීතීඥයා ලෙස නම්කර සිටි බැවිනි.

පශ්චාද් එල්ටීටීඊ සමයේ ආණ්ඩුවේ පාලන ප්‍රදේශයේ සිටිමින් වධ කඳවුරු පවා පවත්වාගෙන යමින් අච්චර දරුණු අපරාධ කන්දරාවක් කළ බවට දැනටමත් තොරතුරු හෙළිදරව් වී සිටින පිල්ලෙයාන් බලන්නට ගිහින් ඇවිල්ලාත්, අර තරම් පණපිහිටුවා පිල්ලෙයාන් ජාතික වීරයෙක්, දේශප්‍රේමියෙක් කරන්නට ගල්පැලෙන බොරු ඇදබෑ, මිනිසුන් පණපිටින් පවා වැළලූ බව කියන පිල්ලෙයාන්ගේ දෑහින් කඳුළු කඩාහැලුණායයි අසා සිටින්නන්ට කඳුළු එන ස්වරයෙන් කියාසිටි මේ පච විදින්නාට සලේ ජාතික වීරයෙක්, දේශප්‍රේමියෙක් කරන්නට බැරි ඇයිදැයි සලේගේ බිරිය ඇතුළු නෑ හිතවතුන් සිතා ඇති බව පෙනේ.

අන්තිමට සලේගේ බුද්ධි සායම හෝදලාම ඇරපු ගම්මන්පිල සලේගේ නීතීඥයා වී ඇත්තේ ඒ ළාමක කල්පනාවෙන් බව දැන් හොඳින්ම පැහැදිළි ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *