සාමය වෙනුවෙන් ඉරානයට ඕනෑම සහයක් ලබාදෙනවා – පුටින් කියයි
ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ සාමය සහතික කිරිමට අවශ්‍ය සියලු සහය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර තිබේ. රුසියාවේ සංචාරයකට එක්වී සිටින ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරග්චි සාන්ත පීටර්ස්බර්ග් නුවරදී මුණ ගැසුණු රුසියානු ජනාධිපතිවරයා මේ ප්‍රකාශය සිදු කළ බව එරට ටාස් පුවත් සේවය වාර්තා කළේය. සිය නිජබිමේ ස්වෛරීභාවය වෙනුවෙන් ඉරාන ජනතාව ධෛර්යමත්ව සහ නිර්භීතව සටන් කරන බවත්, මේ දුෂ්කර කාලපරිච්ඡේදයෙන් පසු ජනතාවට සාමය උදාවනු ඇතැයි විශ්වාස කරන බවත් ව්ලැදිමිර් පුටින් ඉරාන විදේශ ඇමැතිවරයාට ප්‍රකාශ කර තිබේ.
පසුගිය සතියේදී ඉරාන උත්තරීතර නායක මොජ්ටබා කමේනිගෙන් පණිවුඩයක් ලැබුණු බව සඳහන් කර ඇති රුසියානු ජනාධිපතිවරයා, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව දැනුම් දෙන ලෙසත් විදේශ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි බව ටාස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරානය සමඟ උපායමාර්ගික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑම රුසියාවේ බලාපොරොත්තුව බව ද පුටින් ප්‍රකාශ කර තිබේ.
දෙරට අතර උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඉරානයේ අපේක්ෂාව බව මෙහිදී අබ්බාස් අරග්චි ප්‍රකාශ කර ඇති අතර, අමෙරිකාවේ ඉල්ලීම මත නැවත සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව ඉරානයේ අවධානය යොමුවී ඇතැයි රුසියානු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ. වත්මන් යුද තත්ත්වය පිළිබඳ රුසියාවේ අදහස් විමසීම අරමුණු කරමින් ඉරාන විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිස එම සංචාරයට එක්වූ අතර, එහිදී ඉරාන නියෝජ්‍ය ආරක්ෂක ඇමැති බ්‍රිගේඩියර් ජෙනරාල් රීසා තලේයි සහ රුසියානු ආරක්ෂක ඇමැති ඇන්ඩ්‍රි බෙලොසොව් අතර ද සාකච්ඡාවක් පැවති බව වාර්තා වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

