Latestදේශීයමතවාද

ඔවුන්ට අනුව අබෞද්ධයන් උපතින්ම සැක කටයුතු වෙයි

(වංගීස සුමනසේකර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නායකත්වය ලෙස බොහෝ දෙනෙකු හඳුනාගෙන සිටි ශම්මිද සිල්වා ඉවත් වූ විට අපේ රටේ බොහෝ දෙනෙකු සතුටු විය. බොහෝ දෙනෙකු (මාද ඇතුළුව) සිතා සිටියේ මෙය කළ නොහැකි දෙයක් කියාය. මේ අය අපේ රටේ අත්පත්කරගෙන සිටි බලය එතරම්ය. මේ අය අපේ රටේ බල ධූරාවලියේ මුල් ඇද සිටි ගැඹුර එතරම්ය. මොහුව ඉවත් කිරීමට මෙයට පෙර ආණ්ඩුවක් උත්සාහ කළ විට මොහුට අපේ රටෙත් අපේ රටෙන් එළියෙත් ඇති බලය පෙන්වූ ආකාරය අපට මතකය.

එවැනි බලයක් බිඳ දමන්නට මේ ආණ්ඩුව සමත් වූවා යන පුවතට අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බහුතරයක් සතුටු විය. මේ මගින් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව යලි ගොඩගත හැකිද කියා අප නොදන්නවා වුවත් ඒ සම්බන්ධ සුබවාදී දැක්මක් දැන් අපට තිබේ. බලාපොරොත්තුවක් තිබේ.

නමුත් මෙවැනි බලාපොරොත්තුසහගත මොහොතක් මේ ජාතිවාදී හැතිකරය දකින ආකාරය පහතින් තිබේ. ඔවුනගේ මුඛ්‍ය ප්‍රශ්නය වන්නේ මිනිසකුගේ කුල ගොත් විමසා බැලීමයි. ඔවුන්ට අනුව අබෞද්ධයන් උපතින්ම සැක කටයුතු වේ. අප බැලිය යුත්තේ කෙනෙකු සුදුසුද, අවංකද වැනි දේ නොව කෙනෙකු දෙමළද, මුස්ලිම්ද, බෝන් අගේන්ද කියාය. මෙහිදී ‘බෝන් අගේන්’ යනු මේ සැක කටයුතු බවේ උපරිම මොහොතයි. එය අපට හැඟවුමක් නොමැති හැඟවුම්කාරකයකි. එය අපේ පරිමිත දැනුමට හසු නොවන බාහිරත්වයකි. එනිසා මේ තිබෙන්නේ සිංහල බෞද්ධයාගේ විනාශයේ පරම සංකේතයයි.

මේ ආණ්ඩුව වෙනුවෙන් අප මේ නින්දා අපහාස විඳගෙන පෙනී ඉන්නේ ඇයිද කියා තේරුම් ගැනීමට අවශ්‍ය කෙනෙකු සිටින්නේ නම් මේ පහත රූපය එයට ප්‍රමාණවත් වෙයි. අප ඉතාම හොඳින් දන්නේ මේ ආණ්ඩුව තිබෙන තාක් මේ අන්තවාදී බලවේගවලට අපේ රටේ පොදුජනයාට ආමන්ත්‍රණය කළ නොහැකි බවයි. ඒ නිසා සිය රැඩිකල්භාවයේ කන්‍යාභාවය ආරක්ෂා කරගන්නා වාමාංශිකයන්ගේ සිට ඇකඩමික් ආයතන බලය පෙන්වා තමන් බුද්ධිමතුන් කියා අනන්‍යාතා සොයා යන අය දක්වා බොහෝ දෙනෙකු අපට සිනහ සුනාට කමක් නැත. අප මේ තුට්ටු දෙකේ කාලකන්නි අපේ රටේ දේශපාලනයෙන් පලවා හැර තිබේ. ඔවුන්ගේ යළි ආගමනය වැළකෙන්නේ මේ ආණ්ඩුව තිබෙන තුරු පමණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *