Latestදේශීය

රංග රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකෙරුණි.

අදාළ මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඒ මහතා යම් මානසික ආතතියකින් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ විය.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා අප්‍රෙල් 30 වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, පාසල් ගුරුවරියක් වූ ඔහුගේ බිරිඳ රාජකාරී අවසන් වී පස්වරු 3ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය.

පසුව ඔහු තවත් කාන්තාවක් සමග සිය සැමියා පිළිබඳව සොයාබැලීමේදී දැක ඇත්තේ නිවසේ සිට මීටර 50ක් පමණ දුරින් පොල්ගසක් අසල ඔහු වැටී සිටින ආකාරයයි.

අනතුරුව බිරිඳ රාජපක්ෂ මහතාට පපුතෙරපුම් කිහිපයක් ලබාදී තවත් අයෙක් සමග ඔහුව නිවස පිටුපස ඇති මඩුවකට රැගෙනවිත් 1990 ගිලන් රථ සේවය කැඳවුවත් ඔවුන් සිදුකළ පරීක්ෂාවෙන් පසු රංග රාජපක්ෂ මහතා මියගොස් ඇති බව පවසා තිබේ.

ඒ මහතා 2013 වසරේ සිට මහබැංකුවට අනුයුක්තව රාජකාරී කර ඇති අතර 2020 වසරේදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස පත්ව වැඩතහනමට ලක්වන තෙක් රාජකාරී කළ අයෙකි.

ඔහු භාණ්ඩාගාර මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් සේවය අත්හිටුවීම නිසා යම් මානසික ආතතියකික් කල්ගතකර ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ මහතා සියදිවි නසාගත් අප්‍රෙල් 30 වැනිදා උදෑසන තමාට ජීවිතය එපා වී ඇතැයි  බිරිඳට පවසා ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

ඔහුට වෙනත් බාහිර පාර්ශ්වයකින් තර්ජන හෝ බලපෑම් තිබූ බවට මේ වන තෙක් පොලිසියට අනාවරණ වී නොමැති බවද සඳහන් වේ.

රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ, 

“මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ මුදල් වගයක් හැකර්වරයෙකු අතට පත් වූයේ යැයි කියන සිද්ධියට අදාළව තමා සැමියාගේ රැකියාව අත්හිටුවා තිබුණේ. ඒ ගැන සැමියා හරිම කණගාටුවෙන් සිටියේ. නිතරම කල්පනා කළා. සමාජයට මුහුණ දෙන්න බැහැ කියා සැමියා නිතර කිව්වා. මටයි දරුවො දෙන්නටයි පුදුම ආදරයක් තිබුණේ.” යනුවෙනි.

මෙහිදී සාක්ෂි දුනු රංග රාජපක්ෂ මහතාගේ බාල දියණිය සඳහන් කළේ,

“අප්පච්චි පිහියකුත් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහැව්වා කොහෙද යන්නේ කියලා . එතකොට අප්පච්චි කිව්වා වත්ත ටිකක් එළිපෙහෙළි කරන්නයි යන්නේ කියලා. උදේට කාලා යන්න කියලා කිව්වම පස්සේ එන්නම් කියලා ගෙදරින් එළියට බැස්සා. ඊයේ අපි දළදා මාළිගාව වඳින්න යන්න සූදානම් වෙලා හිටියා. අනේ අප්පච්චි අපට කොච්චර ආදරෙයිද. එයා නිතරම අපි ගැන හොයලා බැලුවා. අක්කා කැම්පස් එකට තේරුණුදාත් අප්පච්චි හරි සතුටු වුණා. ”  යනුවෙන්.

ඔහු භාවිත කළ ජංගම දුරකතනය අප්‍රෙල් 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම විමර්ශන කටයුතු සඳහා භාරයට ගෙන තිබේ.

මේ අතර ඔහුගේ දේහය පිළිබඳ ඊයේ (01) දිනයේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ, ඔහු විසින්ම සිදුකරගනු ලැබූ කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වී මරණය සිදුව ඇති බවය.

ඒ අනුව ඔහුගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවිය.

ඒ අනුව රංජ රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකරනු ලැබුවේ, වීරඹුව පොදු සුසාන භූමියේදීය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *