පැය අටේ වැඩ දිනය වෙනුවෙන් සටන් නොකරන අයට මැයි දිනය සමරන්න අයිතියක් නැහැ – දුමින්ද නාගමුව
” අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහිව වැඩකරන ජනතා බලයක් ! ” මැයෙන් සංවිධානය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින රැළිය ඊයේ (01) දින පස්වරු 3.00ට කොළඹ හයිඩ් පිටියේදී ආරම්භ විය.

එහිදී ජනතාව අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා සිදුකළ කතාවේ සාරාංශය.
” එදා කාල් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනේ ලිව්වේ සකල දේශ වාසී නිර්ධනයිනි එක්වව් කියලා. අන්න අද මාලිමා ආණ්ඩුව ඒ සටන්පාඨය වෙනස් කරලා. මේ පාර මාලිමාවේ කම්කරු රැළිය තියෙන්නේ විසි එක්පොළක. දැන් මාලිමාවට කියන්න වෙන්නේ සකළ දේශ වාසී නිර්ධනයිනි විසි එක් පොළකට එකවව් කියලා තමයි. ජනතා විමුක්ති පෙරමුණේ මේ වෙද්දි සංවිධාන අර්බුදයක් ඇතිවෙලා තියනවා. ආණ්ඩුවේ කෙරුවාව ගැන දැන් දිස්ත්‍රික්වල ඉන්න පහළ සංවිධායකයෝ ප්‍රශ්න කරන්න අරගෙන. අන්න ඒ ප්‍රශ්න කරන කටවල් ටික තාවකාලිකව වහන්න තමයි ආණ්ඩුව මේ පාර මැයි රැලි 21ක් කරන්නේ. මොකද එතකොට මේ සංවිධායකයන්ට වෙනවා ප්‍රශ්න කරන එක නවත්තලා තමන්ගේ මැයි රැළියට සෙනඟ හොයන්න.

අනිත් පැත්තෙන් සමගි ජන බලවේගයත් රටට විහිළු සපයන නඩයක් වෙලා ඉවරයි. ඔවුන් මේ පාර මැයි දිනේ සමරන්නේ ” පච මදිවට හොරු ” කියන තේමාවෙන්. අපි කියනවා ඒගොල්ලන්ට ඔය සඨන් පාටයට යටින් මීට අම්බරුවෝ කියලා දාගන්න කියලා. කිසිම දේශපානලනයක් නැති ලාමක සටන්පාඨ ගන්න අයට අපිට ඒක තමයි කියන්න වෙන්නේ. ආණ්ඩුව කොළඹ මැයි රැලියක් කරගන්න බැරුව පල්ලම් බැහැල ඉන්න වෙලාවක විපක්ෂයට නාඩි වැටෙනව නම් තිබුණා ගෝල්ෆෙස් එකට ඇවිල්ලා ලොකු මැයි රැලියක් කරලා පෙන්නන්න. හැබැයි ආණ්ඩුව වගේම අද විපක්ෂයෙත් නාඩි වැටෙන්නේ නැහැ. සමාජයේ ගැස්ම එව්ගොල්ලන්ට දැනෙන්නේ නැහැ.
පොහොට්ටුව මේ පාර මැයි දිනේ සමරන්නේ නැහැ. අද ඒගොල්ලො සිල් ගන්න යනවලු. තාජුඩීන් නිදුක් වෙත්වා, එක්නැලිගොඩ දුකින් මිදෙත්වා කියලා වෙන්නැති ඔය සෙට් එක සිල් ගන්නේ. එදා 88/89 කාලේ දකුණේ දහස් ගාණක් මරපු අය. අවුරුදු 30ක් උතුරට මෙලෙච්ඡ විදිහට ගහපු අය, කොළඹ නගරේ පුරා පාතාලේ එක්ක භීෂණය වපුරපු අය සිල් ගන්නවා කිව්වම අපිට මතක් වෙන්නේ අර වෙල මැද්දේ හිටගෙන ඉන්න කන කොකෙක්ව තමයි. එදා දළදාමාලිගාව වටේ කාර් පැදපු බේබිලා තමයි දැන් අපිට ආගම ගැන කියලා දෙන්න එන්නේ. අපිට මේවට කියන්න තියෙන්නේ අනේ සාදු කියලා තමයි. අද සිරිකොතේ රනිල්ගේ බිරියානි දානයක්. රනිල්ගේ දේශපානලන ජීවිතේ අවසන් වෙලා ඒකේ අවුරුද්දේ දානේ තමයි සිරිකොතේ ඔය තියෙන්නේ.

අද ආණ්ඩුව කම්කරු දිනය සමරන්නේ මේ රටේ කම්කරුවන්ට කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහීකම කරලා ඉවර වෙලා. අපි දන්නවා මේ රටේ පෞදගලික අංශයේ සේවකයෙක් රැකියාවෙන් ඉවත් වෙද්දි තිබුණු ලොකුම රැකවරණය තමයි සේවය අවසන් කිරීමේ පනත. මේ පනතට අනුව කම්පැනි අයිතිකාරයන්ට ඕන ඕන විදිහට සේවකයෝ එළිය දාන්න බැහැ. යම් විදිහකින් ආයතනය වහනව නම් කම්කරු කොමසාරිස්වරයාට දැනුම් දෙන්න ඕන. ඊටපස්සෙ වන්දි සූත්‍රයට අනුව සේවකය්න්ට වන්දි දෙන්න ඕන. මෙන්න මේ සේවය අවසන් කිරීමේ පනත වරාය නගරය ඇතුළේ අක්‍රිය කරන්න මේ ආණ්ඩුව තීරණයක් ගත්තා. මේ ආණ්ඩුව බලයට එන්න කලින් බැසිල් රාජපක්ෂලා මේ පනත අහෝසි කරන්න හැදුවා. එදා ඒකට විරුද්ධයි කියලා අනුර දිසානායකලා පාර්ලිමේන්තුව ඇතුළේ ගර්ජනා කරපු විදිහ අපි දැක්කා. හැබැයි අද බලයට ආවට පස්සේ මේ නවලිබරල් ක්‍රමයට හීලෑ වෙච්ච කුක්කෝ වගේ පනත අක්‍රීය කරන්න මැදිහත් වුණ හැටි ඉතාම නින්දිතයි.
අපි දන්නවා එදා හේමාකට් චතුරස්රයට කම්කරුවෝ රැස්වෙලා ඉල්ලපු ප්‍රධානම ඉල්ලීම තමයි පැය අටේ වැඩ දිනය. මේ පැය අටේ වැඩදිනය දිනාගැනීමේ අරගලය ගැන අවබෝධයක් නැති අයට කම්කරු දිනය සමරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. අන්න දැන් ආණ්ඩුව කම්කරු දෙපාර්තුමේන්තුව ඇතුළේ කමිටු දාගෙන කතාකරනවා පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න. එදා මනූෂ නානායක්කාරලා ගේන්න හදපු තනි කම්කරු නීතියම දැන් මේගොල්ලෝ හතකට කඩලා ගේන්න ලෑස්ති වෙනවා.
අද ලංකාවේ කම්කරු ජනතාව ඉන්නේ ඉතාම අවාසනාවන්ත තත්වයක. ඔබ 2019 අවුරුද්දෙදි ගත්ත වැටුප දැන් වෙද්දි 21%කින් වැඩිවෙලා තියෙන්න ඕන. එහෙම වැඩිවෙලා නැත්නම් ඔබ ඉන්නේ ක්‍රය ශක්තිය අතින් ඉතාම පහළ අඩියක. මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වෙ නම් මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා කියලා. ඒක කරන එක පැත්තකින් තියලා අන්තිමට ආණ්ඩුව ගුරු අරගලයත් පාවාදීපු එක තමයි කළේ. ගුරු අරගලේ ඉල්ලීම්වලින් තුනෙන් එකක් එදා අරලෙන් දිනාගත්තට පස්සෙ මහින්ද ජයසිංහ මැද්දට පැනලා කිව්වා ඉතුරු තුනෙන් දෙක ඒගොල්ලො බලයට ආවට පස්සේ දෙන්නම් කියලා. දැන් ඒ තුනෙක් දෙක ආණ්ඩුවට මතකත් නෑ ගුරුවරුන්ට මතකත් නෑ.

එහෙම පස්ස හරවන ගමන් දැන් ආණ්ඩුව ගමන් කරමින් ඉන්නේ ප්රජාතන්ත්රවිරෝධී පාරක. දැන් මේගොල්ලො ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා එකක් ගෙනල්ලා තියනවා. ඒක තනිකරම රනිල්ගේ ප්‍රතිත්‍රස්ත පනතේ ෆොටෝ කොපියක්. ඒකෙ වගන්ති අනුව ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නවත් ආණ්ඩුවේ තීරණවලට එරෙහි වෙන්නවත් බැහැ. ආණ්ඩුව කරන ඕනම දෙයක් දිහා අපි ඇස් කන් පියාගෙන බලාගෙන ඉන්න ඕන. මේකද ආණ්ඩුව ලබාදෙන ප්රජාතන්ත්රවාදය. ඊටපස්සෙ පහුගිය දවසේ ආණ්ඩුව ඉතාම ලැජ්ජ නැති වැඩක් කාලා. උසාවියේ අවුරුදු නිවාඩුව යන කාලේ මේගොල්ලො පාර්ලිමේන්තුවට පනත් තුනක් ගෙනාවා. මේ පණත් තුන ගෙනාවෙම මිනිස්සුන්ට මේ පණත් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කරන්න තියෙන අවස්ථාවත් අහිමි කරමින් ඉතාම ප්රජාතන්ත්රවිරෝධී විදිහට. ඊලගට අපි දැක්කා පහුගිය කාලේ ඊශ්‍රායලයට විරුද්ධව අදහස් දැක්වුවා කියලා මුස්ලිම් තරුණයන්ව PTA එක පාවිච්චි කරලා හිර කරගෙන හිටියා. ඒවට අත්සන් කලේ අනුරදිසානායක ජනාධිපතිවරයා.
අඩුමතරමින් අර වතුකරේ මලෛයහ තමිල් ජනතාව, උතුරේ දෙමළ ජනතාව විස්වාස කලා මේ ආණ්ඩුව ජාතික ප්‍රශ්නයවත් විසඳයි කියලා. හැබැයි දීප චෙල්වන්ගේ සිද්ධියෙන් අපිට හොඳටම පැහැදිලියි මේ ආණ්ඩුවත් යන්නේ අර රාජපක්ෂලා වගේම ජාතිවාදීන් සතුටු කරන පාරක විතරයි. අද සාහිත්‍යට කලාවටවත් මේ රට ඇතුළේ නිදහසක් නෑ. මිනිස්සුන්ගේ භාෂණයේ නිදහස මේ විදිහට අහිමි කරන්න ඉඩ දෙන්න පුලුවන් කමක් නැහැ.

ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්තිය නිසා අපිට ඉදිරියේදී ලෝක යුද්ධයක ඉත්තෙක් වෙන්න වෙන එක ස්ථිරයි. මේ ආණ්ඩුව ඉන්නේ ඇමරිකානු සහ ඉන්දියානු ගැති ප්රතිපත්තියක. ඒ ප්‍රතිපත්තිය නිසා තමයි අද මේගොල්ලො ඉරානය වෙනුවෙන්, වෙනිසියුලාව වෙනුවෙන් හිටගන්නේ නැත්තේ. අඩුමතරමින් සමාජවාදී කියුබාවට එරෙහිව ඇමරිකාව දාපු සම්බාධක ඉවත් කරන්න කියලවත් කියාගන්න ආණ්ඩුවට කොන්දක් නැහැ. ඊලගට ආණ්ඩුව මේ ගෙනියන IMF ගැති ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපිට 2028 බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ඒක නවත්තන්න අපි ආණ්ඩුවට යෝජනා ගණනාවක් දුන්නා. හැබැයි ඒ එකක්වත් මේ ආණ්ඩුව ගණං ගත්තේ නැහැ. මේ ආණ්ඩුව හිටගන්නේ ධනපතියන්ගේ පැත්තේ. මේ ආණ්ඩුව ගන්නේ අධිරාජ්‍යවාදීන්ගේ පැත්ත කියන එක මේවයින් හොඳටම පැහැදිලියි.
අන්න ඒ නිසයි අපි කියන්නේ ජනතාවගේ අයිතීන් දිනාදෙන්න තවදුරත් මේ ආණ්ඩුවටවත් පාණ්ඩු විපක්ෂයටවත් හැකියාවක් නැහැ. අපිට අපේ නිදහස දිනාගන්න පුලුවන් වෙන්නේ මහජන ව්‍යාපාරයක් හරහා විතරයි. අන්න ඒ මහජන බලය ගොඩනගන්න එකතුවෙන්න කියලා අපි මේ රටේ සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරනවා. “

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

