නම පමණක් ප්‍රමාණවත් නොවුනත් විජේ ජයගෙන ඇත
(සාගර දියගම)
ඉන්දීය මැතිවරණ කොමිසමේ නිල දත්ත වලට අනුව පෙනී යන්නේ තලපති විජේගේ නායකත්වයෙන් යුත් “TVK” පක්ෂය කිසිදු පූර්ව බලාපොරොත්තුවක් නොවූ අයුරින් තමිල්නාඩුවේ “එකම විශාලතම පක්ෂය” බවට පත්වෙමින්, එරට දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරළා ඇති බවයි.
දේශපාලන විචාරකයන් පවසන පරිදි ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් ද යත්, මැතිවරණයේදී ඔහු පක්ෂයේ නම හෝ අපේක්ෂකයා කවුරුන් වුවත්, ජනතාව ඡන්දය ලබා දුන්නේ ‘විජේ’ යන නාමය උදෙසා පමණි.
එහෙත් ආණ්ඩුවක් ගෙනයාමට ‘නම’ පමණක් ප්‍රමාණවත් නොවේ, විජේගේ පක්ෂයට බහුතරය ලබා ගැනීමට තවත් ආසන 8 ක් අවශ්‍ය වේ.
මෙසේ ඔහුගේ ජයග්‍රහණය පූර්ණ බහුතරයකින් තොර එකක් වීම ගැටළු සහගත වී ඇත. පවතින දත්ත අනුව, මේ ආසන අට සඳහා, ඔහු සතුව ආසන 13ක විභවයක් පවතී. ඒ සුළු පක්ෂවල සහය ගැනීමෙනි.
නමුත් ප්‍රශ්නය ඇත්තේ, එසේ අවශ්‍ය ආසන 8 සොයා ගැනීමට ඔහුට INC, PMK හෝ වාම පක්ෂ වලින් එකක් හෝ කිහිපයක් එකතු කර ගැනීමට සිදු වීමයි. මෙය හුදෙක් ගණිතමය එකතුවක් නොව ප්‍රතිපත්තිමය එකඟතාවයක් විය යුතුය. මේ නිසාම තලපති විජේගේ ජයග්‍රහණය සමග ඔහුගේ ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව මේ වන විට දේශපාලන විචාරකයන් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ!
එහෙත් සමහරු අහන්නේ, ආණ්ඩුවක් පිහිටුවීමට සැබැවින්ම “බහුතර ආසන සංඛ්‍යාවක්” අවශ්‍යමද? යන්නයි. බොහෝ දෙනාගේ මතය වන්නේ විජයට ආණ්ඩුවක් පිහිටුවීමට පූර්ණ බහුතරයක් අවශ්‍ය නොවන බවයි.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, මැතිවරණයකින් අනතුරුව වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය හෙවත් “තනි විශාලතම පක්ෂයට” ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කිරීමට එරට ආණ්ඩුකාරවරයා බැඳී සිටියි.
මෙය ලිඛිත නීතියක් පමණක් නොව, දේශපාලන සම්ප්‍රදායකි. ඒ නිසා, විජයගේ දේශපාලන පක්ෂය සභාගයකින් තොරව හෝ බහුතරයක් නොමැතිව වුවද, වැඩිම මන්ත්‍රී ආසන ගණනක් හිමිකර ඇති නිසා, බලය ලබාගැනීමේ පළමු අයිතිය ඔහු සතුය.
විජේගේ ආණ්ඩුව බිඳ වැටිය හැකි එකම මග වන්නේ, ‘DMK’ සහ ‘ADMK’ යන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වී, ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පමණි! එහෙත් එය කෙතරම් ප්‍රායෝගිකද?
දශක ගණනාවක් තිස්සේ DMK සහ ADMK යනු එකිනෙකාගේ පරම සතුරන්ය. ඔවුන්ගේ දේශපාලන දෘෂ්ටිවාදයන් පමණක් නොව, පෞද්ගලික වෛරයන් සහ අතීත සිදුවීම් පවා, ඔවුන්ව දේශපාලන වේදිකාවේ දෙපස රඳවා ඇත. එසේ තිබියදී පොදු සතුරෙකු පරාජය කිරීම සඳහා පමණක් ඔවුන් දෙපක්ෂය අත්වැල් බැඳ ගනු ඇතැයි සිතීම අසීරුය.
ඔවුන් දෙදෙනාම විජේට විරුද්ධ වුවහොත් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද? විජේ වෙනුවට ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් බලයට එන්නේද? ඒ තීරණය ගන්නා තෙක් ඔවුන් අතර ඇති වන බිය සහ අවිශ්වාසය නිසා, ඔවුන් කිසිවිටෙකත් එක් නොවනු ඇත.
එසේම අද ඉන්දීය දේශපාලන කරළියේ ඇසෙන ප්‍රධාන විවේචනයක් නම්, විජේගේ පක්ෂය සැබැවින්ම “නව” බලවේගයක් ද? නැතහොත් එය DMK සහ ADMK හි පැරණි ක්‍රීඩකයන් අලුත් ඇඳුම් ඇඳගෙන පැමිණි තැනක් ද? යන්නයි.
ග්‍රීක දාර්ශනික ප්ලූටාර්ක් විසින් මතු කරන ලද ‘තේසියස්ගේ නැව’ නම් දාර්ශනික ගැටලුව මෙහිදී මට මතක් වේ. නැවක ඇති සෑම ලෑල්ලක්ම එකින් එක ගලවා අලුත් ලෑලි අමුණන්නේ නම්, අවසානයේ ඉතිරි වන නැව මුල් නැවම ද? නැතහොත් එය අලුත් නැවක් ද?
විජේගේ TVK පක්ෂය දෙස බලන විට පෙනෙන්නේ ද එවැනිම තත්ත්වයකි. අපේක්ෂකයන් බහුතරයක් DMK හෝ ADMK පක්ෂවල හිටපු සාමාජිකයන්ය. එසේම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රධාන පක්ෂ වල අවස්ථාවක් නොලැබූ නිසා විජෙ වටා එක් වූවන්ය.
එහෙත් මෙහි දාර්ශනික පැතිකඩ වන්නේ, ජනතාව මේ දෙස බලන්නේ කෙසේද යන්නයි. ජනතාවට අවශ්‍ය වූයේ DMK හෝ ADMK නම් වූ ‘පැරණි නැව්’ නොව, නැවේ නම කුමක් වුවත්, එය මෙහෙයවන්නේ ‘විජේ’ නම් කපිතාන් නම්, ඔවුන් ඒ නැවට ගොඩ වීමට සූදානම් බවයි.
එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ “බහුතරය දිනා ගැනීම” සහ “ආණ්ඩුවක් ගෙන යාම” යනු කරුණු දෙකකි. දේශපාලනය කිරීම යනු කුණාටු මැද නැවක් පදවාගෙන යාමකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ හුදෙක් සිනමා රංගන කෞශල්‍යය නොව, රාජ්‍ය තාන්ත්‍රික දූරදර්ශීභාවයයි.
තමිල්නාඩුව මෙසේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක හෝ අස්ථාවරත්වයක පැටලී සිටින විට, ඔවුන්ගේ කේන්ද්‍රීය අවධානය ඒ දෙසට මාරු වේ. ඔවුන් තමන්ගේ අභ්‍යන්තර ගැටලු විසඳීමට උත්සුක වන විට, අසල්වැසි රාජ්‍යයන් පිළිබඳ විදේශ ප්‍රතිපත්ති වලට වැය කරන කාලය සහ ශක්තිය සීමා වේ.
එනමුදු “අස්ථාවරත්වය” යනු කිසිවෙකුටත් දිගු කාලීනව හිතකර දෙයක් නොවේ. අස්ථාවරත්වයක් පවතින විට, පාලනය අතට ගැනීමට දේශපාලනඥයන් බොහෝ විට උත්සාහ කරන්නේ අන්තවාදී හෝ “ජනප්‍රියවාදී” සටන් පාඨ හරහායි.
ශ්‍රි ලංකාවට එරෙහිව හෝ මධ්‍යම රජයට එරෙහිව දැඩි ස්ථාවරයක් ගැනීම, ඡන්ද ලබා ගැනීමේ පහසුම ක්‍රමය විය හැකිය. එවිට අස්ථාවර තමිල්නාඩුවක් යනු වඩාත් අනපේක්ෂිත සහ ආක්‍රමණශීලී අසල්වැසියෙක් වනු ඇත.
මෙය අපට හිතකර නොවන්නට පුළුවන. එසේම තමිල්නාඩුවේ අස්ථාවරත්වයක් ඇති විට අප අවට මුහුදේ නීති විරෝධී ජාවාරම්, ආරක්ෂක තර්ජන මතු වීමේ ඉඩකඩ ද වැඩිවේ. මේ සියළු කරුණු අනුව විජේගේ ආගමනය මගින් තමිල්නාඩු දේශපාලනයේ ඇති විය හැකි පරිවර්තනය දෙස අප බැලිය යුත්තේ, මැදිහත් සිතින් යුතුවය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

