ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගන්නවා – පොලීසිය කියයි
කුලියාපිටිය ප්‍රදේශයේ සිදුවූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ගේ, විශේෂඥයන්ගේ සහ රජයේ රස පරීක්ෂකවරයාගේ මතයන්ට පටහැණිව අසත්‍ය සහ නොමඟ යවන සුලු ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසිය තීරණය කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (05) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේ දී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙම සිද්ධියට අදාළව සිදුකළ සෝදිසි කිරීම්වල දී නිෙවසක තිබී ජංගම දුරකතනයක්, සිම්පත් (SIM cards) හතක්, පෙන් ඩ්‍රයිව් (Pen drive), බැංකු කාඩ්පත් සහ ලිපිගොනු කිහිපයක් කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මේවා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
පොලීසිය පෙන්වා දෙන්නේ මැයි මස 4 වැනිදා උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡාවලදී අදාළ මරණය සම්බන්ධයෙන් පළ කළ අදහස් පදනම්විරහිත බවයි. විශේෂයෙන්ම, මරණකරුගේ බිරිය විසින් මරණය සැක සහිත බවට පොලීසියට පැමිණිලි කර ඇති බවට ඔහු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එවැනි කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරයි.
නීතිය පිළිබඳ අවබෝධයක් ඇති අයකු මෙලෙස සමාජය නොමග යවන සුලු ප්‍රකාශ සිදු කිරීම බරපතළ තත්ත්වයක් බවත්, මෙම පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීමට ඉදිරියේ දී උදය ගම්මන්පිල මහතාට සිදුවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. මීට අමතරව, කුලියාපිටිය අධිකරණයේ දී මේ සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙයවීමක් සිදු කිරීමට ද පොලීසිය සූදානම් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
විමර්ශනවලට බාධා වන අයුරින් හෝ අධිකරණය නොමඟ යන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම නුසුදුසු බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කිසියම් ගැටලුවක් පවතී නම් ඒ පිළිබඳ අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ද වැඩිදුරටත් පැවැසීය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

