Latestදේශීය

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සහයෝගිතා සංසදයක්

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය අද (08) දින කොළඹ හිල්ටන් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ.

වියට්නාම් වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සංසදය, වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරයට සමගාමීව ඒ මහතාගේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර ආර්ථික සහයෝගිතාව පුළුල් කිරීම සඳහා දෙරටෙහි කැපවීමද පිළිබිඹු විය.

මෙම සංසදයේ ප්‍රධාන අරමුණ වූයේ වෙළඳාම ව්‍යාප්ත කිරීම, ආයෝජන ප්‍රවර්ධනය සහ සංචාරක සහයෝගිතාව යන ප්‍රමුඛතා කෙරෙහි අවධානය යොමු කරමින් දෙරටෙහි ද්විපාර්ශ්වික ආර්ථිකමය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමයි. ඒ සඳහා නව මාවත් ගවේෂණය කිරීමට, ව්‍යාපාර අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ වෙළෙඳපොළ ප්‍රවේශය පහසු කිරීමට දෙරටේම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට මෙයින් අවස්ථාව උදා විය.

සංසදය අතරතුර, කොළඹ සහ හෝ චි මිං නගරය අතර සෘජු ගුවන් ගමන් සේවාව නිල වශයෙන් ආරම්භ කරන ලදී. වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) සහ වියට්ජෙට් එයාර් (VietJet Air) මගින් ක්‍රියාත්මක වන මෙමඟින් දෙරට අතර සහ දෙරටෙහි ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වේ.

මෙම සංසදයේදී ප්‍රධාන සහයෝගිතා ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් හයකට අත්සන් තැබීම සිදු විය. මීට අමතරව, ලංකා වාණිජ මණ්ඩලය යටතේ ශ්‍රී ලංකා-වියට්නාම් ව්‍යාපාරික කවුන්සිලය පිහිටුවීමද මෙහිදී සිදු වූ සුවිශේෂී සිදුවීමකි.

සංසදයට සමගාමීව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ව්‍යාපාරික ජාලකරණ සැසියක් සංවිධානය කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා – වියට්නාම් ව්‍යාපාරිකයන්ට ඔවුනොවුන් සමඟ සෘජුව ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබිණි. දෙරටේම පෞද්ගලික අංශයෙන් මෙයට යහපත් සහභාගීත්වයක් ලැබුණු අතර, වෙළෙඳාම පුළුල් කිරීම සහ ස්ථායි සැපයුම් දාම නිර්මාණය කර ගැනීම පිළිබඳ ව්‍යාපාරිකයෝ දැඩි උනන්දුවක් දැක් වූහ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරු ඇතුළු මැතිඇමතිවරුද, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරාජා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

වියට්නාමය නියෝජනය කරමින් දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් සහ මධ්‍යම සංවිධායක කොමිසමේ ප්‍රධානී Nguyen Duy Ngoc , දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභාවේ ලේකම් සහ ප්‍රතිපත්ති සහ උපායමාර්ග පිළිබඳ මධ්‍යම කොමිසමේ ප්‍රධානී Nguyen Thanh Nghi, දේශපාලන මණ්ඩල සභික, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය Phan Van Giang, දේශපාලන මණ්ඩල සභික සහ මහජන ආරක්ෂක අමාත්‍ය Luong Tam Quang, දේශපාලන මණ්ඩල සභික සහ විදේශ කටයුතු අමාත්‍ය Le Hoai Trung යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *