චූදිතයන් ආරක්ෂා කිරීමේ වගකීම රජයට නැහැ – උපාලි පන්නිලගේ
කපිල චන්ද්‍රසේන මහතා චුදිතයකු මිස සාක්ෂිකරුවකු නොවන බැවින් ආරක්ෂාවක් ලබාදිය නොහැකි බවත්, මෙරට නීතිය ප්‍රකාරව චුදිතයන් ආරක්ෂා කිරීමේ වගකීමක් රජයට නොමැති බවත්, සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පසුගියදා (10) කැලණියේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
”කාගේ වුණත් ජීවිතයක් නැති වෙනවා කියන්නේ කනගාටුදායක තත්ත්වයක්. මෙරට වසරකට සියදිවි නසා ගැනීම් 3,000ක් පමණ වාර්තා වෙනවා. සමාජයක් ලෙස සියදිවි නසා ගැනීම කියන ඛේදවාචක සිදුවීම් වළක්වා ගැනීම අපේ කාර්යභාරයයි. ඒ සඳහා රජයක් ලෙස කළ යුතු උපරිම දේ අපි කරනවා.
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට ආණ්ඩුව සම්බන්ධයි කියලා ජනතාව විශ්වාස කරන්නේ නැහැ. කපිල චන්ද්‍රසේන කියන්නේ චුදිතයෙක්. ඔහු සාක්ෂිකරුවෙක් නෙවෙයි. ගුවන්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු විදේශීය අධිකරණයක වරදකරුවෙක් වෙලා සිටින කෙනෙක්. ඔහුට එරෙහිව ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් තිබෙන අවස්ථාවකයි මෙය සිදු වුණේ. චුදිතයෙක් විදියට ආරක්ෂා කරන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා නම් ආරක්ෂාව දෙන්න තිබුණා. එහෙම නැතුව චුදිතයන් ආරක්ෂා කිරීමේ නීතියක් අද වෙනකොට ලංකාවේ නැහැ.
”අධිකරණයෙන් ඔහුට ඇප නියම කළාම යම් තැනක රැඳී සිට තිබෙනවා. ඇප කොන්දේසි සම්පූර්ණ කරන්න නොහැකි වීම නිසා නැවත ඔහුව අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබුණු අවස්ථාවකයි මේ සියදිවි නසා ගැනීම සිදුව තිබෙන්නේ. මහජනතාවගේ දේපළ බරපතළ ලෙස වංචා කරපු යුගයක ඒ සම්බන්ධයෙන් මැදිහත්කරුවකු වූ චුදිතයෙක්. චුදිතයෙක් වුණත් මෙලෙස මියයෑම සුදුසු නැහැ. ගුවන්යානා ගනුදෙනුවෙන් ලබා ගත් මුදල් ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් ඔහු සඳහන් කර තිබුණා. මේ අල්ලස් ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පරීක්ෂණ සිදු වුණා. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසුව ඒ පරීක්ෂණ කඩිනම් කෙරුණා. එවකට ජනාධිපතිවරයකුට හා ඇමැතිවරයකුට මුදල් ලබා දුන් බව චුදිතයා ප්‍රකාශ කර ඇති අවස්ථාවකයි මේ මියයෑම සිදුව තිබෙන්නේ. වත්මන් රජය වංචාවට දූෂණයට ඉඩක් දෙන්නේ නැහැ. එවැනි සිදුවීම් විමර්ශනය කරලා අධිකරණයට වාර්තා කරනවා. එතැනින් එහාට අධිකරණය විසින් අධිකරණ කටයුතු සිදු කරයි.”
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

