මහින්ද ඇවිත් යයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කරන ලද දැනුම්දීමක් අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) පෙරවරු 9.30ට පමණ අල්ලස් කොමිසමට පැමිණියේය.
හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශය ලබාදීමෙන් පසු පෙරවරු 11.50 ට පමණ ඉන් පිටව ගිය අතර පැය දෙකකට ආසන්න කාලයක් ඔහු එහි රැඳී සිටියේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම පාක්ෂිකයන් විශාල පිරිසක් හිටපු ජනාධිපතිවරයාට සහය පළකිරීමට අල්ලස් කොමිසම අසලට පැමිණ සිටියහ.
එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ දැනුම් දීම මත එහි පැමිණි හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා ද පැය හතරක පමණ ප්‍රකාශයක් ලබා දී ඉන් පිටව ගියේය.
හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට එන විට පාක්ෂිකයන් විශාල පිරිසක් කොමිසම ඉදිරිපිට රැඳී සිටි අතර ප්‍රකාශය ලබාදී පිටව යන විට හිටපු ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසට අත වනා ආචාර කර පිටව යනු දක්නට ලැබිණි.
2013 වසරේ දී ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිය වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල වුණි.
කෙසේ වෙතත් එම විමර්ශනයේ දී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඊට අදාළව පසුගිය මාර්තු 12 වැනිදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනුණි.
අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ, ප්‍රශ්නගත ගනුදෙනුවේ දී තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 20ක් එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට මහතාට ද, රුපියල් මිලියන 60ක මුදලක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද ලබාදුන්නේ යැයි කපිල චන්ද්‍රසේන සිය කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමින් පැවසූ බවය.
කෙසේ වෙතත් අල්ලස් කොමිසමේ බලධාරින් තර්ජනය කොට බලහත්කාරයෙන් අදාළ ප්‍රකාශය ලබාගත් බව දන්වමින් කපිල චන්ද්‍රෙස්න මහතා යොමු කළ දිවුරුම් ප්‍රකාශයක් ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කපිල චන්ද්‍රෙස්න මහතාගේ මළ සිරුර පසුගිය සිකුරාදා නිවසකින් සොයා ගැනුණේ මෙවන් පසුබිමකය.
මෙම චෝදනා විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ඊයේ (12) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම දැනුම් දී තිබුණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

