රටින් ඩොලර් පිටකරන මහා ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
මහ මොළකරු අත්අඩංගුවේ / තවත් හතක් අල්ලන්න සොයයි
වසර තුනකදී ඩොලර් මිලියන 800ක් පිට කරලා
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරමින් රට තුළ ඇති අමෙරිකානු ඩොලර් රටින් පිටකරමින් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් කරනු ලබන සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය කරගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම ජාවාරමට සම්බන්ධ මහ මොළකරුවෙක් පෙරේදා (20) අත්අඩංගුවට ගෙන ඇත.
2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඔහු විසින් පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 800ක් රටින් පිටකර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මේ ආකාරයට රටින් අමෙරිකානු ඩොලර් පිටකරන ජාවාරම මෙහෙයවන තවත් 07 දෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අතර මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් සාප්පු හිමිකරුවෙක්, රන් භාණ්ඩ අලෙවිසල් හිමිකරුවෙක්, ආනයන අපනයන ව්‍යාපාරයට සම්බන්ධ තොග වෙෙළන්දෙක් ද සිටින බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ආරංචමාර්ග සඳහන් කළේය.
මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙම ජාවාරම සිදු කරන බවත් මොවුන්ගේ මෙම ක්‍රියාවට දූෂිත බැංකු නිලධාරීන් ඇතුළු පිරිසකගේ ද සහය ලැබී ඇති බවත් පෙනී ගොස් ඇත. ඉදිරියේ දී ඒ අය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් ද රටින් පිටකරනු ලබන්නේ මෙම කණ්ඩායම වන අතර ‘වෙෙළඳාම මත මුදල් විශුද්ධිකරණය කිරීමේ ජාවාරම’ මෙමඟින් සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
අත්අඩංගුවට ගත් සැකකරු කළු සල්ලි ද රටින් පිටකරමින් සුදු කරන අයෙක් බවත් ඔහු ඇතුළු මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් ගැන විමර්ශන ආරම්භ කරනු ලැබුවේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී බවත් එම උසස් නිලධාරියා පැවසීය.
සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු ද පරික්ෂාවට ලක්කරමින් දීර්ඝ විමර්ශනයක් මේ සඳහා කළ යුතුව තිබුණු බවත් ඒ අනුව ජාවාරම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සාක්ෂි සහිතව අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
ජෙෆ්රි මොහොමඩ් නමැති මෙම පුද්ගලයා කොළඹ කොටුව ප්‍රදේශයේ නාමිකව පවත්වාගෙන යන ‘ඒ.වයි ඉන්වෙස්ට්මන්ට්’ නම් ආයතනයක් හරහා මෙම මුදල් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවල දී හෙළිවී තිබේ. මෙම පුද්ගලයා බම්බලපිටියේ තට්ටු නිවාස සංකීර්ණයක තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බවත් හෝටල් හා තට්ටු නිවාස සංකීර්ණවල ඔහු නවාතැන් ගෙන සිටින බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. පසුගිය දිනවල සැඟව සිටි සැකකරුව පන්නා ගොස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, පෙරියමුල්ලේ නිවාස සංකීර්ණයකදී බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
සැකකරුට අයත් බව කියන වාහන 08ක්ද විමර්ශන කටයුතු සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය බාරයට ගෙන ඇත. ඒ අතර රුපියල් කෝටි 11ක් පමණ වන වාහනයක් ද ඇතැයි පොලීසිය සඳහන් කරයි. සෙසු වාහන ද රුපියල් කෝටි 02කට අධික වටිනාකම් ඇති ඒවාය.
මොහු සතුව තිබී මුදලින් රුපියල් කෝටි 03ක් හමුවී ඇති අතර රුපියල් කෝටි 12ක මුදල් ඇති බැංකු ගිණුමක් ද තහනම් කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
මෙම සැකකරු විසින් පසුගිය මාස 06ක කාලය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 43ක මුදලක් ද ඊට පෙර මාස 06ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 40කට වැඩි මුදලක් ද රටින් පිටකර ඇති බව අනාවරණය වී තිබේ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමඟ කෙරුණු ප්‍රශ්න කිරීමේ දී කළු සල්ලි සුදු කරන සහ රටින් මුදල් පිටකරන ව්‍යාපාරිකයන් රැසකගේ තොරතුරු අනාවරණය වී තිබේ. ඒ අතර නමගිය ව්‍යාපාරිකයන්ද සිටින බව සඳහන්ය. ඉදිරියේදී ඒ අයගෙන් ප්‍රශ්න කර නීතිවිරෝධි ලෙස මුදල් රටින් පිටකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය සූදානමින් සිටියි.
මෙම විමර්ශනය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා රේගුව විසින් කළ පැමිණිලි 03ක් පදනම් කර ගනිමිනි.
භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ සඳහා අදාළ මුදල්, වාණිජ බැංකුවක් හරහා විදේශයක සිටින සැපයුම්කරුගේ බැංකු ගිණුමට විදත් ක්‍රමයක් මඟින් සෘජුවම යැවීම සඳහා බැංකුවට උපදෙස් දෙන Telegraphic Transfer විවෘත කර අමෙරිකානු ඩොලර්වලින් අදාළ ගෙවීම් සිදුකර ඇතත් නියමිත කාලසීමාව තුළ එම භාණ්ඩ මෙරටට පැමිණ නැති බව රේගුව විසින් කළ පැමිණිලිවල සඳහන්ව තිබී ඇත. මෙහිදී එක් පැමිණිල්ලකින් එවන් සමාගම් 89ක් ගැන තොරතුරු රේගුව විසින් හෙළිකර තිබී ඇත. ඒ ගැන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම සමාගම් 89න් 36ක්ම එකම පුද්ගලයකුට අයත් බවය. එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය ලෙස සිටින පුද්ගලයන් බැංකු කාර්යයන් පුරුදු නොමැති සාක්ෂරතාව අඩු අය බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් හඳුනාගත් පුද්ගලයන් 36 දෙනෙක් ප්‍රශ්න කිරීමට ලක්ව ඇත. එහිදී ඔවුන් තමන් සමාගම් අධ්යක්ෂවරු බව පවා දැන සිට නැත. ලියකියවිලි කිහිපයක් මුදල් ලබා දී අත්සන් ගත් බවත් ඒ හැරුණු කොට තමන් කිසිවක් නොදන්නා බවත් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යන අතරතුර බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ මහතා ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් යොමුකර ඇත්තේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ කළු සල්ලි සුදු කරන ජාවාරමක් ගැනය. ඒ බව අනාවරණය වී ඇත්තේ මත්කුඩු ඉතා සුළු ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධෙයන් කළ දීර්ඝ විමර්ශනයකදීය. එහිදී සැකකරුවකු සතුව තිබී මත්කුඩු ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 03කට අධික මුදලක් ද සොයාගෙන ඇත. එහිදී මත්කුඩු ජාවාරම්කරුවකුගේ මුදල් බැරවන මිනුවන්ගොඩ පිහිටි බැංකු ගිණුමක තොරතුරු ද අනාවරණය වී ඇත. එම ගිණුම මඟින් රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු වී ඇති බව ද ෙහළිවී තිබේ.
එම බැංකු ගිණුම ඩුබායි හි රැඳී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකුෙග් ගෝලයකුගේ මෙෙහයවීම මත විවෘත කර ඇති එකක් බව අනාවරණය වී ඇත. එම ගෝලයා ද මෑතකදී ඩුබායි සිට මෙරටට පිටුවහල් කර එවා තිබී ඇති බවත් මත්කුඩු ජාවාරමේ මුදල් රටින් පිටකරනු ලබන්නේ ජෙෆ්රි මොහොමඩ් හරහා බව ද එහිදී අනාවරණය වී තිබේ. ඒ අනුව රේගුවෙන් ලද පැමිණිල්ල විමර්ශනයේදී ජෙෆ්රි මොහොමඩ්ගේ නම අනාවරණය වූ බැවින් මෙම සැකකරු පසුපස දිගින් දිගටම හඹායාමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් රටින් බැහැර කිරීමේ ජාවාරමක් පිළිබඳ ඉකුත් දා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ඒ අය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා පැවසීය.
මෙරට ප්‍රධානපෙළේ භාණ්ඩ ආනයනකරුවන් පිරිසක් මෙම පුද්ගලයා මඟින් ඩොලර් විදේශයන්ට යවා භාණ්ඩ ගෙන්වා ගන්නා බවත් එහිදී ලේඛනගතව ඇති භාණ්ඩ ප්‍රමාණයට වඩා භාණ්ඩ ඒ තුළින් ගෙන්වාගෙන රටට විශාල තීරුබදු අහිමි කිරීමක් කරන බව ද මෙම විමර්ශනවලින් අනාවරණය වී ඇත. තීරුබදු නොගෙවා රට තුළට ගෙන්වා ගන්නා ඒම භාණ්ඩ අලෙවියෙන් ලබන ලාභය පවා පාරිභෝගිකයාට නොලැබෙන බවත්, ඒම වාසිය මුළුමනින්ම ව්‍යාපාරිකයන් පිරිසක් අතට පමණක් පත්වන බවත් විමර්ශනයේදී පෙනී ගොස් ඇත. ඔවුන් තීරුබදු පමණක් නොව, ආදායම් බදු ද නොගෙවා දැවැන්ත මූල්‍ය වංචාවක නිරතව සිටින බව හෙළිවී තිබේ. එම ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ද මේ වන විට කරුණු රැස්කරමින් සිටින බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස තොරතුරු අනාවරණය කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු ඩොලර් රටින් පන්නනු ලබන්නේ එක් අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් රුපියල් දෙකත් තුනත් අතර ප්රමාණයන්වලින් කොමිස් මුදල් ලබා ගනිමින් බවත් ඒම මුදල් කාගේදැයි සොයා බැලීමක් නොකරන බවත් ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත. ඔහුට මේ සඳහා සහය දෙන බැංකු සහ වෙනත් ආයතනවල පිරිස් ගැන ද මේ වන විට විමර්ශන පැවැත්වේ.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (20) ඉදිරිපත් කර දින 07ක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට අවසර ද ලබාගෙන තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

