තිස්සගේ පාපොච්චාරණය
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ගෙන ගිය අන්ත ම්ලේච්ඡ සංහාර පිළිබඳ ඉතිහාසයේ 1983 කළු ජූලිය ලෝකය හමුවේ ශ්‍රී ලංකාව පිළිබඳව දරුණු කළු පැල්ලමක් නිර්මාණය කරනු ලැබීය.
LTTE සංවිධානය විසින් යුද හමුදා සොල්දාදුවන් පිරිසක් ඝාතනය කිරීම පදනම් කර ගනිමින් ඍජුව ම හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධන සහ එම ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මැදිහත් වීමෙන් රට පුරා ම්ලේච්ඡ සංහාරයක් දියත් කරනු ලැබීය. එයින් දශක තුනකට පසුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙසින් සිටි තිස්ස අත්තනායක එම ම්ලේච්ඡ සංහාරය පිළිබඳව යම් ප්‍රමාණයකින් පාපොච්චාරණයක යෙදී තිබේ. තිස්ස අත්තනායක කළ ප්‍රකාශ පදනම් කර ගනිමින් 2012 ජූලි 24 වෙනි දින බීබීසී සිංහල වෙබ් අඩවිය තැබූ සටහන පහත දැක්වේ.
කළු ජූලිය වළක්වන්න එදා ආණ්ඩුව අපොහොසත් වුනා – එජාප
බීබීසී සිංහල (24 ජූලි 2012)
ශ්‍රී ලංකාවේ දහස් ගණනක් දෙමළ ජාතිකයන් මරා දමා තවත් දස දහස් සංඛ්‍යාත පිරිසකට උන් හිටි තැන් අහිමි කෙරුණු 1983 කළු ජූලිය වැළැක්වීම සඳහා එදා පැවති ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගත් බව එක්සත් ජාතික පක්ෂය (එජාප) පවසයි.
එල්ටීටීඊ සංවිධානය විසින් උතුරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සොල්දාදුවන් දහ තුන් දෙනෙකු මරාදැමීමේ සිදුවීමෙන් ඇවිලී ගිය කළු ජූලියේ මුල් පැය විසිහතර ඇතුලත එය වැළැක්වීම සඳහා එදා පැවති ආණ්ඩුව ප්‍රමාණවත් පියවර නොගත්තැයි තමා විශ්වාස කරන බවයි, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක බීබීසී සංදේශයට කියා සිටියේ.
1983 දී රටේ පාලනය හෙබැවූයේ ජනාධිපති ජේආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි.
කළු ජූලිය “ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත” සිද්ධියක් ලෙසින් හැඳින්වූ මහ ලේකම්වරයා, එයින් අනතුරුව ශ්‍රී ලංකාවේ හටගත් “ජාතිවාදී ස්වරූපයත්, ජාත්‍යන්තර අපකීර්තියත්” මකා ගැනීමට ශ්‍රී ලංකාවට තවමත් හැකිවී නැතැයි ද සංදේශයට පැවසීය.
ජවිපෙ තහනම් කිරීම
එවක පැවති එජාපෙ ආණ්ඩුවේ ප්‍රධාන පෙලේ ඇමතිවරුන් පවා මෙම ප්‍රහාරය පිටුපස සිටිමින් ප්‍රහාරකයන් මෙහෙය වූ බව ඉන් අනතුරුව පත් කරන ලද කොමිසමක තීන්දුව විය.
එහෙත් එසේ චෝදනා එල්ල වූ ඇමතිවරුන්ට එරෙහිව පියවර ගැනීමට එවක පැවති ආණ්ඩුවේ උනන්දුවක් නොවූ බව අත්තනායක මන්ත්‍රීවරයා පිළිගත්තේය.
එම උදාසීනත්වය සහ කළු ජූලියේදී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මුහුණ පෑ ඉරණම විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය වඩාත් ප්රචණ්ඩ හා ශක්තිමත් කිරීමට හේතු සාධක වූ බවයි, එදා එජාපයට අනුබද්ධ සමවාදී ශිෂ්‍ය සංගමයේ නායකයෙකු වූ එජාප වත්මන් මහ ලේකම්වරයා පවසන්නේ.
එමෙන්ම කළු ජූලිය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ නව සම සමාජ පක්ෂය තහනම් කිරීම දකුණේ දෙවැනි තරුණ කැරැල්ලට පාදක වූ බවට එල්ලවන චෝදනා එක්සත් ජාතික පක්ෂය බැහැර නොකරයි.
“පක්ෂය තහනම් කිරීම හේතුවෙන් ඔවුන් අවි ආයුධ අතට ගත්තාය කියන චෝදනාව ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට සමහර කණ්ඩායම් එල්ල කළා,” බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
