දකුණු නෝර්වේහි ගින්නකින් නිවාස 100ක් ගිනිබත් වෙයි
නෝර්වේහි දකුණු ප්‍රදේශයේ ඩ්‍රැමන් නගරයට ආසන්න ක්‍රොක්ස්ටඩෙල්වා ප්‍රදේශයේ හටගත් දැවැන්ත ගින්නකින් නිවාස 100කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, සිය ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබේ.
ඔස්ලෝ නගරයට බටහිරින් කිලෝමීටර් 50ක් පමණ දුරින් පිහිටි මෙම නේවාසික ප්‍රදේශයේ ගින්න තවදුරටත් පැතිර යමින් අසල වනාන්තරයකටද ව්‍යාප්ත වී ඇති බව බලධාරීන් පවසයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන භටයන් 80කට අධික පිරිසක්, සිවිල් ආරක්ෂක කණ්ඩායම් සහ ගිනි නිවන හෙලිකොප්ටර් 6ක් යොදවා ඇති අතර, රාත්‍රී කාලයේදී ගුවන් මෙහෙයුම් අත්හිටුවීම හේතුවෙන් ගිනි පාලනය තවත් අභියෝගාත්මක වී තිබේ.
බලධාරීන් සඳහන් කළේ, තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, එය සම්පූර්ණයෙන් පාලනය කිරීමට සෙනසුරාදා දක්වා කාලය ගත විය හැකි බවයි.
මෙම ගින්නෙන් පුද්ගලයෙකු සුළු දුම් ආශ්වාස ආබාධ හේතුවෙන් ප්‍රතිකාර ලබා ඇති අතර, එක් ගිනිනිවන භටයෙකුද සුළු තුවාල ලබා තිබේ. කෙසේ වෙතත්, අතුරුදන් වූ කිසිදු පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වී නොමැත.
ගින්න හටගත් හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, බලපෑමට ලක්වූ ජනතාව සඳහා හදිසි සහන හා නවාතැන් මධ්‍යස්ථානද පිහිටුවා තිබේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

