Latestදේශීය

පාස්කු ප්‍රහාරය නඩුවට ගෝඨාභය උසාවි එයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැනල් 4’ නාළිකාවේ හෙළි වූ තොරතුරු මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ සුහර්ෂි හේරත් මහත්මිය “මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් තමාගේ පෞද්ගලික වීරයන් නොවන බව” අභියාචනාධිකරණයට ඊයේ (23) දැනුම් දුන්නාය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලූ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අධිකරණයට පැමිණ සිටියේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ, තමන්ට එරෙහිව රටින් පිටවීම වළක්වන නියෝගයක් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති බව ජනමාධ්‍ය හරහා දැනගත් බවයි. ‘චැනල් 4’ නාළිකාව පදනම් කරගනිමින් කුමන මොහොතක හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත්, කිසිදු සාක්ෂියක් නොමැතිව එසේ කිරීම නීතිවිරෝධි මෙන්ම ස්වාභාවික යුක්ති මූලධර්මයට පටහැනි බවත් පෙත්සම්කරු කියා සිටී.

පෙත්සම සලකා බලමින් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා පවසා සිටියේ, පෙත්සම්කරු කිසිදු වරදක් කර නොමැති බවත්, ඔහු අත්අඩංගුවට නොගෙන වුවද විමර්ශන සිදු කිරීමට හැකියාව ඇති බැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත්ය. අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කරුණු දක්වමින්, “මට කීමට ඇත්තේ එක දෙයයි; මට පෞද්ගලික වීරයන් නැහැ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් මගේ පෞද්ගලික වීරයන් නෙවෙයි,” යනුවෙන් ප්‍රකාශ කළාය. මෙම පෙත්සමේ වැඩිදුර විභාගය අගෝස්තු 03 වැනිදා පැවැත්වීමට අධිකරණය දින නියම කළේය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥවරුන් වන අලි සබ්රි සහ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.

අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පිළිතුරු දේශන ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම අගෝස්තු 3 වැනිදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළේය. නඩු විභාගය පැවති ඊයේ දින හිටපු ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට පැමිණියේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *