Latestවිදේශීය

මෙටා සමාගමට ඩො. මිලියන 500ක දඩයක්

එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණ විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් (Bryan Biedscheid) විසින් ඊයේ (06), මෙටා සමාගමේ මඟින් ළමයින්ට එල්ල වන තර්ජන සහ අවදානම් පිළිබඳව ජනතාවට අනතුරු ඇඟවීමට අපොහොසත් වීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 567ක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

මෙය ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් එම සමාගමට එරෙහිව ලැබුණු විශාලතම අධිකරණ තීන්දුවයි.

විනිසුරුවරයාප්‍රකාශ කළේ මෙම සමාජ මාධ්‍ය දැවැන්තයා වායු දූෂණයකට සමාන මහජන පීඩාවක් වන බවත්, අනාගතයේදී සිදුවන හානි අවම කිරීම සඳහා වෙන් කළ අරමුදලකට මෙම මුදල් බැර කළ යුතු බවත්ය. මෙම නියෝගය, අදාළ නඩුවේදී මෙටා සමාගමට මීට පෙර ගෙවීමට නියෝග කළ ඩොලර් මිලියන 375ක දඩයට අමතරව ලැබුණක් වන අතර, ඒ අනුව මෙටා සමාගමට ගෙවීමට සිදුවන සමස්ත වන්දි මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ යයි.

විනිසුරු බීඩ්ෂයිඩ් විසින් මෙටා සමාගම කර්මාන්තශාලාවකට සමාන කළ අතර, එහි වෙළඳ දැන්වීම් සහ අන්තර්ගතයන් එහි නිෂ්පාදන ලෙසත්, ළමුන්ට සිදුවන මානසික හානිය සහ ලිංගික සූරාකෑම, මර්දනය කළ යුතු පරිසර දූෂණය ලෙසත් පෙන්වා දෙන ලදී.

“කර්මාන්තශාලාවකින් පිටවන අහිතකර දූෂක මඟින් පිරිසිදු වාතය ලබා ගැනීමට සාමාන්‍ය ජනතාවට ඇති පොදු අයිතියට හානි පමුණුවන්නා සේම, මෙටා ප්ලැට්ෆෝම් මඟින් ළමයින්ට සිදුවන හානිකර බලපෑම එහි ප්ලැට්ෆෝම්වලට පමණක් සීමා වී නොපවතී. ඒ වෙනුවට එය සමස්ත අන්තර්ජාලයටත්, වඩාත්ම කණගාටුදායක ලෙස සැබෑ ලෝකයටත් පැතිර යමින්, බලපෑමට ලක් වූ ළමයින්ට, ඔවුන්ගේ පවුල්වලට, පාසල්වලට මෙන්ම රෝහල්වලට සහ නීතිය බලාත්මක කරන ආයතනවලට පොදු, සමාජීය බරක් සහ හානියක් ඇති කරයි” ඔහු සඳහන් කළේය.

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක්, වට්ස්ඇප් සහ ත්‍රෙඩ්ස් හි හිමිකාරීත්වය උසුලන මෙටා සමාගමේ මාධ්‍ය ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ, “අපි මෙම අධිකරණ තීන්දුවට එකඟ නොවන අතර ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනවා,

අපගේ ප්ලැට්ෆෝම් තුළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපි දැඩි ලෙස කැපවී සිටින අතර, හානිකර අන්තර්ගතයන් සහ අයහපත් ක්‍රියාකාරීන් හඳුනාගෙන ඉවත් කිරීමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳව අපි විනිවිදභාවයකින් කටයුතු කර තිබෙනවා. අන්තර්ජාලය තුළ යෞවනයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපගේ වාර්තාව පිළිබඳව අපට විශ්වාසයක් පවතින අතර, සත්‍ය කරුණු වැරදි ලෙස නිරූපණය කරන චෝදනාවලට එරෙහිව අපි තවදුරටත් කරුණු දක්වනවා” යනුවෙනි.

මීට පෙර ලබාදුන් ඩොලර් මිලියන 375ක තීන්දුව සම්බන්ධයෙන්ද මෙටා සමාගම අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පවසමින් මෙයට සමාන පැහැදිලි කිරීමක් ලබා දී තිබුණි. ප්‍රාන්තයක් විසින් ළමා ආරක්ෂණ ගැටලු සම්බන්ධයෙන් මෙටා සමාගමට එරෙහිව නඩුවක් ජයගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ වන විට මෙටා සමාගම මෙවැනිම ගැටලු සම්බන්ධයෙන් එක්සත් ජනපදය පුරා නඩු දහස් ගණනකට මුහුණ දෙමින් සිටී. නව මෙක්සිකෝ තීන්දුවලට අමතරව, මෙටා සමාගම මේ වසර මුලදී ලොස් ඇන්ජලීස් හිදී මෙවැනිම චෝදනා සහිත නඩුවකින්ද පරාජයට පත් විය.

නව මෙක්සිකෝ නඩුව ආරම්භ වූයේ 2023 වසරේදී නව මෙක්සිකෝ ප්‍රාන්තයේ නීතිඥයින් විසින් ගොනු කරන ලද නඩුවකිනි. එහිදී ඔවුන් තර්ක කළේ මෙටා හි ප්ලැට්ෆෝම් මඟින් ළමයින් අනතුරේ හෙළීම, ඔවුන්ට ලිංගිකව ප්‍රකාශිත ද්‍රව්‍ය නිරාවරණය කිරීම සහ ලිංගික අපරාධකරුවන් සමඟ සම්බන්ධතා ඇති කිරීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් මෙටා සමාගම වගකිව යුතු බවයි.

නඩු විභාගයේ පළමු අදියරේදී, මෙටා සමාගමේ නිර්දේශිත ඇල්ගොරිතම (Recommendation Algorithms) මඟින් කුඩා පරිශීලකයින්ව හානිකර අන්තර්ගතයන් සහ සම්බන්ධතා වෙත යොමු කරවීම තුළින් නව මෙක්සිකෝවේ අසාධාරණ වෙළඳ ක්‍රියාකාරකම් පනත (Unfair Practices Act) නැවත නැවතත් උල්ලංඝනය කර ඇති බව තීරණය විය. නිර්දේශිත ඇල්ගොරිතම යනු පරිශීලකයෙකුට ඔවුන්ගේ ප්ලැට්ෆෝම් තුළ පෙනෙන අන්තර්ගතයන් ස්වයංක්‍රීයව තෝරා පෙන්වීම සඳහා මෙටා භාවිත කරන මෙවලම් වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *