Latestදේශීය

අර්බුදය තීව්‍ර වෙන්න වෙන්න ආණ්ඩුව කරන්නේ ඔබේ හිස මත බදු කන්දක් පටවන එක – දුමින්ද නාගමුව

” සෞඛය සේවක බලය පෙන්වමු ! සටන දිනවමු ! ” තේමාවෙන් ඒකාබද්ධ සෞඛය සේවක සංගමයේ 11වන මහ සමුළුව අද (07) උදෑසන 10.00ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ විය.

එහිදී අදහස් දැක්වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා,

” මම දැක්කා මෑතකදි මහබැංකුවේ වාර්තාවක කියලා තිබුණා පවුලක මාසික ආදායම රුපියල් 70,000ක් වෙනව නම් ඒ පවුල ඉන්නේ දරිද්‍රතා රේඛාවෙන් උඩලු. අපි අහනවා මහබැංකුවෙන් ලෝකේ කොයි රටේ ආර්ථිකය ගැනද ඔය කියන්නේ කියලා ? මොකද එකසත් ජාතීන්ගේ සංවිධානය පවා කියනවා මාසික ආදායම රුපියල් එක්ලක්ෂ පනස්දාහට අඩු සියලු පවුල් ඉන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහල කියලා. මෙන්න මේ බිමේ තියෙන ඇත්ත තත්වයවත් නොදැන තමයි මහබැංකුව මේ රටේ ආර්ථිකය හසුරවන්නේ.


දැන් ජාජබ ආණ්ඩුවත් යන්නේ පරණ ආණ්ඩු ගිය පාරෙම තමයි කියන එක හොඳටම පැහැදිලියි. එදා ඡන්දෙට කලින් ගොවියන්ව කරේ තියාගෙන නටපු අය ඡන්දෙ දිනලා අවුරුදු දෙකක් යන්නත් කලින් ගොවියන්ට කසිප්පු කාරයෝ කියන්න තරම් පහත් තැනට වැටිලා ඉවරයි. මේක තමයි මේගොල්ලන්ගේ දේශපානලනය. මීට අවුරුදු දෙකකට කලින් ඔය ඇමතිවරු ගොයම් කෑවේ නැති ටික විතරයි. හැබැයි අද කතාකරන්නේ මේ රටේ ගොවියන්ට කිසිම ප්‍රශ්නයක් නැති ගාණට දාලා. මතක තියාගන්න අද ගොවියන්ට ඔය බෙදන හැන්දෙන්ම තමයි ආණ්ඩුව හෙට ඔබට බෙදන්නෙත්. අද ගොවියට කසිප්පු කාරයා කිව්වනම් හෙට ඔබ ඔබේ සෞඛය සේවක අයිතීන් ඉල්ලලා අරගලයක් ආරම්භ කොළොත් ඔබට කාලකණ්ණිය කියන ලේබලය අලවන්න දෙපාරක් හිතන්නේ නැහැ.


අන්න මේ මොහොතෙත් කුරුවිට බන්ධනාගාරය ඇතුළේ ප්‍රශ්නයක්. අද රෑට අධිකරණ ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා දෙන වොයිස් කට් එක අපිට දැන්මම කියන්න පුලුවන්. ඔහු අනිවාරෙන් ඇවිල්ලා කියයි මේ හිරගෙවල් ඇතුළේ ඉන්නේ කුඩුකාරයෝ මිනීමරුවෝ කියලා. අපි අධිකරණ ඇමතිගෙන් අහනවා පිස්සෙක් අපිට ගැහුවොත් අපිත් පිස්සුවෙන් වගේ පිස්සට පහර දෙනවද කියලා ? අද හිරගෙවල් ඇතුලේ වෙන කැරලි මර්දනය කරන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගත් ඒ වගේ. හිරගෙවල් ඇතුලේ වෙන ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව ගන්නෙත් පාතාලේ ගන්න ක්‍රියාමාර්ග නම් එහෙම ආණ්ඩුවක් ද ජනතාව බලාපොරොත්තු වුණේ ? ලංකාවේ බන්ධනාගාරවලට දාන්න පුලුවන් රැඳවියන් ප්‍රමාණය 11,000යි. හැබැයි අද වෙද්දි 41,000ක් රැඳවියෝ බන්ධනාගාර ඇතුළේ ඉන්නවා. දැන් කුරුවිට බන්ධනාගාරෙ ඇතුළට කඳුළු ගෑස් ගහන්න පටන් අරගෙන. ඉන්න ඕන ප්‍රමාණය වගේ දෙගුණයකටත් වඩා ප්‍රමාණයක් ඇතුළට දාලා තමයි මේ කඳුළු ගෑස් ගහන්නේ. මෙහෙමද මේ ආණ්ඩුව ප්‍රශ්න විසඳන්නේ ? ලෝකේ පිළිගත්ත නීතිය තමයි කඳුළු ගෑස් ගහනව නම් මිනිස්සුන්ට දුවාගන්න අඩුමතරමින් මීටර් දෙතුන්සීයකවත් ඉඩක් තියෙන්න ඕන කියන එක. ඒ සදාචාරය රකින්නවත් ආණ්ඩුවට අමතක වෙලා. ඒ නිසා අපි ජනතවට කියනවා මේ සිරකරුවන්ගේ ප්‍රශ්නය කුඩු කාරයන්ගේ කුමන්ත්‍රණයක් කියලා අමතක කරන්න එපා. මොකද සනීපාරක්ෂාව ගැන ඉඩකඩ නැති වීම ගැන විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අද වෙද්දි සිරගෙවල් ඇතුළේ තියනවා. මේ පුපුරන්නේ ඒ අර්බුදය.


ආණ්ඩුව ඡන්දෙට කලින් කයිවාරු ගැහුවේ ඒගොල්ලො තමයි ඉන්න ලොකුම මොළකාරයෝ වගේ. හැබැයි ඒ මොළකාරයන්ගේ තරම ගන්න තීන්දුවලින් හිතාගන්න පුලුවන්. ඔබ හිතන්න ඔබ සේවය කරන රෝහලේ සේවකෝ 10ක් ඉන්න ඕන තැනක ඉන්නේ සේවකයෝ 2යි නම් මොකද වෙන්නේ ? එතන වැඩ ගොඩගැහිලා අර්බුදයක් නිර්මාණය වෙනවා. එතන ප්‍රශ්නය විසඳන්න නම් අනිවාරෙන් තව සේවකයෝ බඳවා ගත යුතුයි. හැබැයි ආණ්ඩුව හිතනවා 10ක් ඉන්න ඕන තැන ඉන්නේ දෙන්නයි නම් ප්‍රශ්නේ විසඳන්න ඉන්න දෙන්නගේ විශ්‍රාම වයස දීර්ඝ කලාම පුලුවන් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17ක් ඉන්න ඕන. හැබැයි විනිසුරුවරු 6 දෙනෙක්ගේ පුරප්පාඩුවක් තියනවා. නඩු ගොඩ ගැහිලා තියෙන්නේ මේ විනිසුරුවන් නැති කම නිසා. එක විනිසුරුවෙක්ට දෙන්නෙක්ගේ වැඩ කරන්න වෙලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් නෙවෙයි රෝහල්වල ඇතුළු සියලු ආයතනවල තියෙන බරපතළම අර්බුදය තමයි ඕක. මේක දන්නෑ වගේ ආණ්ඩුව මේ මුට්ටිය දාලා බලන්නේ මොකටද කියලත් අපි මේ වෙලාවේ කියන්න ඕන. අපි දන්නවා ආණ්ඩුවට ඕන අර කලින් ආණ්ඩු කලා වගේම තමන්ගේ පදයට නටන අයව තියාගෙන මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට තුච්ඡ විදිහට හසුරුවන සෙල්ලම කරන්න. තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වුණොත්, ආණ්ඩු ජනතාද්‍රෝහී පනත් ගෙනාවොත් ජනතාවට යන්න තියෙන එකම තැන තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. හැබැයි අධිකරණයේ ස්වාධීනත්වය රකිනවා, විධායක ජනාධිපති ක්‍රමය පවා අහෝසි කරනවා කියලා ආව ආණ්ඩුවක් අද අධිකරණය තමන්ගේ අතකොලුවක් කරගන්න පුලුවන් විදිහේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න උත්සහ කිරීම ඉතාම පිළිකුල්සගතයි.


අපි දන්නවා ආණ්ඩුව රනිල් අටවල ගිය ආර්ථික උගුල අස්සට ගියේ අපි අනතුරු හඟවලා තියෙද්දිමයි. දැන් ඒ ආර්ථික උගුල පුපුරන්න අරගෙන. අද රටේ බහුතර ජනතාවකට තුන්වේල කන්න පුලුවන් කමක් නෑ. ත්‍රීවීල් එකට යතුරුපැදියට තෙල් ටික ගහගන්නේ හරිම අමාරුවෙන්. ඉදිරියේදී මේ අර්බුද තවත් වැඩි වෙන්න නියමිතයි. හැබැයි අර්බුදය තීව්‍ර වෙන්න වෙන්න ආණ්ඩුව කරන්නේ ඔබේ හිස මත බදු කන්දක් පටවන එක. මේ පීඩනයට එරෙහිව අරගල කරන අය මර්ධනය කරන්න අවශ්‍ය නීතිරීති අනපනත් මග එනවා. එදා මනූෂ නානායක්කාරලා ගෙනාව තනි කම්කරු නීතිය ඊටත් වඩා දරුණු සංශෝධන එක්ක ගේන්න හදන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරය හාන්සි කරවන්න. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත වගේ මෙලෙච්ඡ අනපත් තව පැත්තකින් එනවා. මේවා ගේන්නේ ජනතා අරගල මර්දනය කරන්න. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ ෆේස්බුක් බළකාය සූදානමින් ඉන්නවා අරගල කරන අයට කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ කියන ලේබලය අලවන්න. මෙන්න මේ තත්වය අපි තේරුම් ගන්න ඕන. මේ වෙලාවේ මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරවලට සඨන් කරන බලවේගවලට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න තියෙන්නේ එකම පාරයි. ඒතමයි සංවිධානය වීම. ගොවියන්ගේ ප්‍රශ්න, ධීවරයන්ගේ ප්‍රශ්න, සෞඛය ප්‍රශ්න, වැටුප් ප්‍ර්ශ්න, රැකියා විරහිත ප්‍රශ්න මේ සියලු ප්‍රශ්නවලට තනි තනිව කරන අරගලයකට වඩා ශක්තිමත් පුළුල් ඒකාබද්ධ ජනතා අරගලයක් අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා එකතුවෙමු කියලා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *