වෛද්‍යවරු 3791ක් රට හැර ගිහින්
2020 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුළ වෛද්‍යවරුන් 3,791ක් විදේශගත වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
මෙලෙස විදෙස්ගතව ඇති පිරිසෙන් වැඩි පිරිසක් විදේශගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත විදේශ පුහුණුව ලබාගැනීමට බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවය තුළ නිරතව සිටිමින් වැටුප් රහිතව 2020 වසරේ සිට 2026.06.19 වැනි දින වනවිට විදෙස්ගතව සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,429ක් වන අතර එම වකවානුවේදී විදෙස්ගතව ඇති විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 140ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
ප්‍රාථමික ශ්‍රේණියේ පත්වීමක් ලද වෛද්‍යවරයකුගේ මූලික වැටුප 2026-01-01 වැනි දින වනවිට රුපියල් 84,574ක් වන අතර 2027-01-01 සිට එම වැටුප රුපියල් 94,150ක් ලෙස වැඩිවන බව ද හෙතෙම පැවසීය. මෙම වැටුපට අදාළ අනෙකුත් දීමනා හිමිවන අතර විශේෂඥ වෛද්‍යවරයකුගේ ආරම්භක වැටුප 2026-01-01 සිට රුපියල් 1,36,575ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. 2027-01-01 සිට විශේෂඥ වෛද්‍යවරයකුගේ මූලික වැටුප රුපියල් 1,56,000ක් බවට පත් වන අතර එම පිරිසට අදාළ අනෙකුත් දීමනා හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය:
“වැටුප් රහිතව විදෙස්ගතව සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 1,429ක්. ඒ 2020 වසරේ සිට 2026.06.19 දක්වා. වැටුප් රහිතව විදෙස්ගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 140ක්. ඒ 2022 වසරේ සිට 2026.06.15 දක්වා කාල සීමාව තුළයි. ඒ වගේම සේවය හැරයාම් හා ඉල්ලා අස්වීමෙන් පසුව විදෙස්ගතව සිටින වෛද්‍යවරුන් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු නැහැ.
2020 වසරේ සිට 2025 වසර දක්වා මුළු වෛද්‍යවරුන් 3,791ක් විදේශගත වෙලා තිබෙනවා. සෑහෙන වෛද්‍යවරුන් සංඛ්‍යාවක් විශේෂඥ වෛද්‍යවරුන් තමයි. වැඩි වශයෙන් සිදුව තිබෙන්නේ විදේශ පුහුණුව ලබා ගැනීම සඳහා ගිය අයයි.
විදෙස්ගත වීම සඳහා මේ වන විට ඉල්ලීම් කර ඇති සංඛ්‍යාව ආයතන සංග්‍රහය හා චක්‍රලේඛ අනුව 280ක් මෙම වසරේ ඉල්ලුම් කර තිබෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:
“මම ඔබතුමාගෙන් දැනගන්න කැමැතියි, ඔන්කෝල් (On-call) සිටින වෛද්‍යවරුන්ට වැඩ කිරීමට අවශ්‍ය දීමනා ප්‍රමාණවත් නැහැ. රාජකාරි දීමනා මදියි. කොළ පුරව පුරවා තමයි ගන්න වෙලා තිබෙන්නේ. මේ වෙනුවෙන් නිශ්චිත දීමනාවක් ලබා දෙන්න.”
නියෝජ්‍ය අමාත්‍යවරයා:
“අපි ඒ සම්බන්ධයෙන් කතා කරමින් සිටිනවා. වෛද්‍යවරුන්ට අතිකාල දීමනාවක් දෙන්න බැහැ. අමතර දීමනාවක් ලබා දෙන්නේ. ඒකට සීමාවක් පනවා තිබෙනවා. දිනකට පැය හයක්. මසකට පැය 150ක්. ඒක හැම වෛද්‍යවරයකුටම සාධාරණ නැහැ කියලා තේරෙනවා. අපි මේක බලාගෙන යන්නේ. වාට්ටුවල හා යුනිට්වල තිබෙන තත්ත්වයන් අනුව එය වැඩි කරන්න පුළුවන් ද කියලා බලනවා. මේකෙදී කොළ පිරවීමේදී ගැටලුවක් තිබෙනවා. එදිනෙදා වැඩ කරනකොට අපහසුවට පත්වෙනවා. මේක ස්ථිර දීමනාවක් ලෙස මෙම වසරේදී ලබා දෙන්න සැලසුම් කර තිබෙනවා. අනෙකුත් වෛද්‍යවරුන්ටත් මෙය ලබා දීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඔන්කෝල් කරන විට ප්‍රමාණවත් පහසුකම් නැති නිසා වෛද්‍යවරුන්ට තමන්ගේ වාහනවලින් එහෙට මෙහෙට යන්න වෙනවා වගේම වෛද්‍යවරුන්ට තමන්ගේ වාහනවල නිදාගන්න සිදු වෙනවා. මේ ගැන අපි අවධානය යොමු කරලයි තිබෙන්නේ. එය නැති කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර සාකච්ඡා කරමින් සිටිනවා.”
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

