Latestදේශීය

විමල් දිසානායක නිහඬ වෙයි

ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන විෂයෙහි පුරෝගාමියෙකු මෙන්ම ආසියානු සන්නිවේදන න්‍යායේ ප්‍රමුඛතම විද්වතෙකු වූ මහාචාර්ය විමල් දිසානායක අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමෙරිකාවේ හවායි හිදී අභාවප්‍රාප්ත වන විට මහාචාර්ය විමල් දිසානායක 86 වන වියෙහි පසුවිය.

මෙරට ජන සන්නිවේදනය පිළිබඳ ප්‍රථම විශ්වවිද්‍යාල ආචාර්යවරයා වන මහාචාර්ය විමල් දිසානායක, ශ්‍රී ලාංකේය සාහිත්‍ය විචාරය, ජනසන්නිවේදනය, සිනමා අධ්‍යයනය සහ ආසියානු සන්නිවේදන න්‍යායයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ප්‍රමුඛ විද්වතෙකි. ඔහු කවියෙකු මෙන්ම ග්‍රන්ථ කතුවරයෙක්ද වේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ආරම්භක නියමුවෙකු මෙන්ම එහි පළමු අංශාධිපති ලෙසද කටයුතු කරමින් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියට ජන සන්නිවේදන විෂයය ශාස්ත්‍රීය මට්ටමින් හඳුන්වා දීමට මුලපිරුවේද මහාචාර්ය විමල් දිසානායක විසිනි.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා එවකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිංහල, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය හදාරමින් සිංහල පිළිබඳ ගෞරව උපාධිය හිමිකරගත් ඔහු, පේරාදෙණිය ගුරුකුලයෙන් බිහි වූ ස්වාධීන බුද්ධිමතෙක් ලෙසද සැලකේ.

පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉංග්‍රීසි සාහිත්‍යය විෂයයෙන් ආචාර්ය උපාධිය ලබාගත් මහාචාර්ය විමල් දිසානායක, 1975 දී ලැබූ අධි ශිෂ්‍යත්වයක් හරහා පෙන්සිල්වේනියා සරසවියෙන් ජන සන්නිවේදනය හා සිනමාව පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිය දිනා ගැනීමට සමත් විය.

1979 වසරේ දී ඇමරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ පත්වීමක් ලබා විදේශගත වූ මහාචාර්ය විමල් දිසානායක, එහි ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා ලෙස මෙන්ම හොංකොං විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්ය පදවියකින්ද පිදුම් ලැබීය. මීට අමතරව බ්‍රිතාන්‍යයේ BBC ගුවන්විදුලි සේවය මගින්ද ඔහුව විශේෂ ඇගයීමකට ලක් කර ඇත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *