බන්ධනාගාර පද්ධතියෙන් මතුවන දේශපාලන අර්බුදය
බන්ධනාගාර කිහිපයක එකින් එක මතු වූ මෙම අසහනකාරී රැල්ල, සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට පාලක පාර්ශවයෙන් චෝදනා එල්ල වේ. මෙම අවස්ථාව දේශපාලන වාසියක් කරගනිමින්, බිඳවැටුණු පැරණි විපක්ෂ බලවේගයන් ද මෙයට ඈඳා ගනිමින් නව දේශපාලන කථිකාවක් ගොඩනැගීමට ආණ්ඩුව උත්සාහ දරයි. රාජ්‍ය පාලනයේදී තමන් වෙත එල්ල වන ජනතා පීඩනයන් මඟහැරීමටත්, තත්ත්වය සමනය කිරීමටත් පාලකයන් සතු සරලම සහ පහසුම තුරුම්පුව වන්නේ “රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ” පිළිබඳ මතය සමාජගත කිරීමයි. එමෙන්ම පවතින රටාව අනුව ජනතාව අතර ද යම් දුරකට මෙම කුමන්ත්‍රණ කතාව විශ්වාසනීයත්වයක් දිනාගනිමින් පවතී.
මේ අතර, සාමාන්‍ය ජන සමාජය තුළ, විශේෂයෙන්ම ජාතික ජන බලවේගය සමඟ දැඩි ලෙස දේශපාලනිකව බැඳී සිටින පිරිස්, බන්ධනාගාර තුළ පවතින මෙම සැබෑ අසහනයන් හුදු “විපක්ෂයේ දේශපාලන ව්‍යාපෘතියක්” ලෙස පමණක් ලඝු කර දැක්වීමට උත්සාහ කරති. සිරගෙවල් තුළින් පුපුරා යන සමාජයීය අර්බුදය, පටු පක්ෂ දේශපාලන රාමුවකට කොටු කර හුවාදැක්වීමට දෙපාර්ශවයම උත්සාහ දරන අයුරු මෙයින් මනාව පැහැදිලි වේ.
මේ අතර, සිරකරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ බන්ධනාගාර තුළ පවතින අසහනකාරී වාතාවරණය වෙනුවෙන් හඬ නඟන පාර්ශවයන් ද දක්නට ලැබේ. ජෝසප් ස්ටාලින් වැනි ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයින් පෙන්වා දෙන්නේ, අයිතිවාසිකම් ඉල්ලා සිටින සිරකරුවන්ට එරෙහිව මරණ තර්ජන ඇතුළු විවිධ බලපෑම් එල්ල වන බවයි. පාලකයන්ගේ කුමන්ත්‍රණ කතාවලින් සිරකරුවන්ගේ සැබෑ පීඩනය සහ මානුෂීය අවශ්‍යතා යටපත් නොකළ යුතු බවට ඔවුහු දැඩි ලෙස බලකර සිටිති.
බන්ධනාගාරගත ප්‍රජාව යනු සමාජයේ පහළම ස්ථර නියෝජනය කරන, යම් මට්ටමක පාදඩකරණයේ රළවේගයට හසු වූ, ශිෂ්ට යැයි සම්මත දේශපාලන භාෂාව නොතේරෙන හෝ නොහසුරුවන පිරිසකි. එහෙත්, ඔවුන් යනු පීඩාවට පත්වීමේ උපරිම සීමාවටම ළඟා වූ, සමාජයේ වඩාත්ම අසරණ වූ කණ්ඩායමයි. බලධාරීන් සිතනුයේ මතුපිටින් පෙනෙන කුමන්ත්‍රණ කතාවලට මුවා වී, පද්ධතියේ පවතින කුණුකසල එලෙසම තබා ගනිමින් පාලනය ගෙන යා හැකි බවයි. නමුත් නිහඬව පැවති පීඩනය දරාගත නොහැකි තැන එකවරම පුපුරා යාම වැළැක්විය නොහැකි යථාර්ථයකි.
මෙම අර්බුදයේ දරුණුම ප්‍රතිඵලය වන්නේ රජය සහ සිරකරුවන් අතර සබඳතාවය තුළ “ලේ වලින් වැටුණු රතු ඉරක්” නිර්මාණය වීමයි. තැනින් තැන මිනිස්සු මියයෑම, වෙඩි තැබීම් සහ දරුණු දණ්ඩනයන් හරහා පාලකයන් සහ පීඩිතයන් අතර පවතින පරතරය තවදුරටත් ලේවලින්ම සනිටුහන් වී ඇත. මින් පැහැදිලි වන්නේ ප්‍රශ්න විසඳීම වෙනුවට මර්දනය මුදා හැර ඇති බවයි.
බන්ධනාගාර පරිපාලනයේ ආකල්ප පද්ධතිය පවතින්නේ ගැටලු විසඳන මානුෂීය දිශාවක නොව, අතිශය ම්ලේච්ඡ සහ මානව විරෝධී ස්ථාවරයකය. “සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන උදාර පාඨය බන්ධනාගාර තාප්පවල ලියා තිබුණ ද, බන්ධනාගාර ප්‍රධානීන්ගේ සහ බලධාරීන්ගේ ක්‍රියාකලාපයන් එම මානුෂීයත්වයට ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පවතින බව පැහැදිලිය.
උදාහරණයක් ලෙස බන්ධනාගාර ප්‍රධානීන් සිරකරුවන්ගේ මූලික මිනිස් අවශ්‍යතා, සෞඛ්‍ය ගැටලු හෝ පරිපාලනමය අසාධාරණකම් දෙස සානුකම්පිතව බැලීම වෙනුවට, ඔවුන්ව සලකනු ලබන්නේ හිංසනයෙන් සහ බිය වැද්දීමෙන් පමණක් පාලනය කළ යුතු පිරිසක් ලෙසය. ප්‍රධානීන්ගේ මෙම දැඩි, නම්‍යශීලී නොවන සහ යල් පැන ගිය ආකල්ප නිසාම, කුඩා ගැටලුවක් වුවද මහා විනාශකාරී කැරැල්ලක් දක්වා වර්ධනය වීමට අවශ්‍ය පසුබිම බන්ධනාගාර ඇතුළතින්ම නිර්මාණය වේ.
බන්ධනාගාර ජේලර්වරුන් ඇතුළු නිලධාරීන්ගේ වත්මන් මතය වී ඇත්තේ සිරකරුවන් සතු රූපවාහිනී සහ ගුවන්විදුලි වැනි අවම මාධ්‍ය සන්නිවේදන පහසුකම් පවා බන්ධනාගාරවලින් මුළුමනින්ම ඉවත් කළ යුතු බවයි. ගැටලුවලට සානුකම්පිත විසඳුම් සෙවීම වෙනුවට, ඔවුන් පුරුදු වී සහ පුහුණු වී සිටින එකම ක්‍රමය වන්නේ සිරකරුවන් බාහිර ලෝකයෙන් තවදුරටත් හුදෙකලා කර මර්දනය කිරීමයි. බන්ධනාගාර තුළින් අඛණ්ඩව මතු වන අසහනය මඟින් කියා පාන්නේ, මෙම නිලධාරීන් මෙතෙක් කල් පවත්වාගෙන ආ මර්දනකාරී සම්ප්‍රදාය සහ ක්‍රමවේදය මුළුමනින්ම අසාර්ථක වී ඇති බවයි.
අස්සයෙකුගේ පිට මත පටවා ඇති අධික බර නිසා ඌ පීඩා විඳිද්දී, ඒ මත වැටෙන අවසාන පිදුරු ගසෙන් උගේ කොන්ද කැඩී යාම ස්වභාවිකය. නමුත් සමාජයක් ලෙස අප මෙහිදී අවධාරණය කළ යුත්තේ “ඒ අවසාන පිදුරු ගස දැම්මේ කවුද යන්න සෙවීමට වඩා, මේ සිදුවෙමින් පවතින්නේ දිගු කලක් තිස්සේ පද්ධතිය තුළ එකතු වූ සෘණාත්මක බලපෑම්වල මහා ඒකරාශී වීමක ගුණාත්මක පරිවර්තනයක් බව වටහා ගැනීමයි.
දේශපාලනඥයන් තමන්ගේ බේරීම උදෙසා සාම්ප්‍රදායිකව “කුමන්ත්‍රණ කතා” කීම සාමාන්‍ය දෙයකි. එහෙත්, සමාජ මාධ්‍යවේදීන්, මත ප්‍රකාශ කරන්නන් සහ රට ගැන වගවීමක් සහිත පුරවැසියන් මෙම තත්ත්වය එතරම් සරලව නොගත යුතුය. පාලකයන් පවසන පරිදි මෙහි කිසියම් කුමන්ත්‍රණකාරී බලපෑමක් තිබුණේ වුවද, එය හුදෙක් “අස්සයාගේ කොන්ද කැඩූ අවසාන පිදුරු ගහ” වැනි සිදුවීමක් පමණි. බන්ධනාගාර පද්ධතිය ඇතුළත දිගු කලක් තිස්සේ පැවති අධික තදබදය, අමානුෂීය පීඩනය සහ අයිතිවාසිකම් අහිමිවීම නමැති බරපතළ බර නිසා අස්සයාගේ කොන්ද ඒ වන විටත් කැඩීමට ආසන්නව තිබුණි. කුමන්ත්‍රණය යනු ඒ මත පැටවුණු අවසාන සුළු පිදුරු ගහ මිස, අර්බුදයේ සැබෑ මූලය නොවේ.
රට මුහුණ දෙන සෑම ආර්ථික හෝ සංස්කෘතික ගැටලුවකදීම, සැබෑ මූලයන් සොයා විසඳුම් දෙනවා වෙනුවට කොහෙන් හෝ “කුමන්ත්‍රණකාරයෙක්” මතු කරමින්, ඔවුන් පස්සේ පන්නන්නට ගියහොත් අපට සදාකාලිකවම කරන්නට සිදු වන්නේ කුමන්ත්‍රණකාරයන් ඇල්ලීම පමණි.
දැන් පවතින සමාජ දේශපාලන වහරෙන් “අවුරුදු 70 වක සාපය” නමැති සාම්ප්‍රදායික සටන් පාඨය ඉවත් කිරීමට කාලය පැමිණ ඇත. තවදුරටත් අතීතයේ සාපයන් ගැන හෝ කුමන්ත්‍රණ ගැන නන් දොඩවමින් පලක් නැත. අප කළ යුත්තේ පවතින සැබෑ ප්‍රශ්නය මේසය මත තබා ඒ මත පමණක් අවධානය යොමු කරමින් විසඳුම් සෙවීමයි. සමාජයක් ලෙස අපට ගැලවෙන්නට ඇති එකම මාවත එයයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආකර්ෂණීය සහ සහේතුක ප්‍රතිපත්තිය වන “පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කරා පියනැගිය හැක්කේ කුමන්ත්‍රණකාරයන්ට එරෙහිව හිස් වහසි බස් දොඩමින්, පැරණි රාජ්‍ය පාලන රටාවන් එලෙසම ඉදිරියට ගෙන යාමෙන් නොවේ.
දේශපාලන භාෂාවක් හෝ තමන්ගේ හඬක් නැති බන්ධනාගාරගත පහළ පන්තිවල පීඩනය හුදු දේශපාලන අලංකාරිකයක් බවට පත් කර, එය සාම්ප්‍රදායික විපක්ෂයේ ගිණුමට බැර කරමින් යන මෙම පටු දේශපාලන මාවතට රට වැටීමට නොදී රැකගැනීම වත්මන් සමාජ මාධ්‍යවේදීන්ගේ සහ වගකීම් සහගත පුරවැසියන්ගේ මූලිකම කාර්යභාරය විය යුතුය.
@Mandis Murrukkuwadura
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

