මුහුදු මත්ස්‍ය සම්පත අඩුවීමට එල් නිනෝ හේතු වූ බවට තවම සාක්ෂි නැහැ – නාරා ආයතනය
ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මත්ස්‍ය සම්පත් අඩුවීම එල් නිනෝ තත්ත්වය හේතුවෙන් සිදුවන බවට නිගමනය කිරීමට මෙතෙක් ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති බව නාරා ආයතනය පවසයි.
මෙම තත්ත්වය ගෝලීය වශයෙන් ද නිරීක්ෂණය වන ප්‍රවණතාවක කොටසක් විය හැකි බව එම ආයතනය පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශ තුනක් ඔස්සේ මේ වන විටත් පර්යේෂණ සිදුකරමින් පවති.
මෙරට ධීවරයින් වාර්තා කරන ධීවර සම්පත් හා මත්ස්‍ය අස්වැන්න අඩුවීමට බලපා ඇති හේතු හඳුනාගැනීම සඳහා විද්‍යාත්මක වාර්තාවක් සකස් කරන ලෙස ධීවර අමාත්‍යාංශය නාරා ආයතනයට දැනුම් දී තිබේ.
ඒ අනුව සාගර පාරිසරික තත්ත්ව, මසුන්ගේ ජෛව විද්‍යාත්මක හා හැසිරීම් රටා සහ සමාජ–සංස්කෘතික සාධක ඇතුළත් ප්‍රධාන ප්‍රවේශ තුනක් යටතේ පර්යේෂණ මේ වන විට ක්‍රියාත්මක වන බව නාරා සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.
මත්ස්‍ය සම්පත් අඩුවීම එල් නිනෝ තත්ත්වයට සෘජුව සම්බන්ධ කිරීම විද්‍යාත්මක දත්ත මගින් මෙතෙක් තහවුරු වී නොමැති බැවින්, එවැනි නිගමනයකට එළඹීමට කල් වැඩි බව ඔහු අවධාරණය කරයි.
සාගර ජලයේ පෝෂක ද්‍රව්‍ය හා ප්‍රාථමික ඵලදායීතාව අඩුවීමෙන් මසුන්ට අවශ්‍ය ආහාර දාමයට බලපෑම් ඇතිවිය හැකි බව මූලික නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබෙනවා. එවැනි වෙනස්කම් හේතුවෙන් මසුන්ගේ ව්‍යාප්තිය, සංක්‍රමණය, ආහාර ලබාගැනීම සහ මත්ස්‍ය අස්වැන්න වෙනස් විය හැකි බව නාරා ආයතනය පවසයි.
දැවැන්ත පරිමාණයේ ධීවර කටයුතු ද ලෝකයේ ඇතැම් ප්‍රදේශවල මත්ස්‍ය සම්පත් අඩුවීමට බලපාන සාධකයක් විය හැකි බව මහාචාර්යවරයා සඳහන් කළේය.
අවසාන වාර්තාව සකස් කිරීම සඳහා වැඩි කාලයක් අවශ්‍ය වුවද, අතුරු වාර්තාවක් ඉදිරි සති හය ඇතුළත රජයට ලබාදීමට නියමිතව තිබෙනවා. අවශ්‍යතාව අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ තීරණ ගැනීමේ ආයතන වෙත ද විද්‍යාත්මක තොරතුරු ලබාදෙන බව නාරා ආයතනය පවසයි.
පර්යේෂණ අවසන් කර හේතු විද්‍යාත්මකව තහවුරු කිරීමෙන් පසු, මත්ස්‍ය සම්පත් කළමනාකරණය, අඛණ්ඩ අධීක්ෂණය සහ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නාරා ආයතනය කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

