නේපාලය ගංවතුරෙන් යටවෙයි – සංචාරකයින් ඇතුළු සියගනනක් අතුරුදන්
නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්නයේ හටගත් හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, එම ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි බව කියන දෙස් විදෙස් සංචාරකයන් 384 දෙනකු පිළිබඳ කිසිදු තොරතුරක් නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ අලුයම කත්මණ්ඩු අගනුවරට උතුරින් පිහිටි රසුවා ප්‍රදේශයේ මේ හදිසි ගංවතුර හටගෙන ඇති බවත්, එම ප්‍රදේශය හරහා ගලා යන බෝටේ කොෂී ගංගාව අධික වර්ෂාවෙන් පිටාර ගැලීමෙන් එම තත්ත්වය මතුවූ බවත් පොලීසිය ප්‍රකාශ කර තිබේ. අතුරුදන් වූ බව කියන සංචාරකයන් පිළිබඳ ඊයේ දහවල් වන විට නේපාලයේ සංචාරක මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇති අතර, විදෙස් සංචාරකයන් 291 දෙනකු සහ දේශීය සංචාරකයන් 93 දෙනකු ලැයිස්තුගත කර තිබේ. අතුරුදන්වූවන් අතර ඉන්දීය සංචාරකයන් 105 දෙනකු සිටින අතර, මැලේසියානු ජාතිකයන් 17ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 12ක්, දකුණු අප්‍රිකානු ජාතිකයන් 4ක්, අමෙරිකානු ජාතිකයන් 3ක් සමඟ ඔස්ට්‍රේලියානු හා නෙදර්ලන්ත ජාතිකයකු බැගින් ලැයිස්තුවට ඇතුළත් වී ඇතැයි වාර්තා වේ. අතුරුදන්වූ සෙසු විදෙස් සංචාරකයන්ගේ අනන්‍යතාව හෙළි වී නැති බව ද වාර්තා වේ. අතුරුදන්වූවන් සොයා නේපාලයේ ආරක්ෂක හමුදාව ඒකාබද්ධව මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ. ගංවතුර තත්ත්වයෙන් රසුවා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම ප්‍රදේශයේ ආරක්ෂක මුරපොළ දෙකක රාජකාරියේ නිරතව සිටි පොලිස් බළකායේ නිලධාරීන් 13 දෙනකු ද අතුරුදන්වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. නේපාලයේ පොලිස් ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ රාජකාරි කළ තවත් පොලිස් නිලධාරීන් 35 දෙනකු දුරකතන ඔස්සේ සම්බන්ධ කරගැනීමට මෙතෙක් නොහැකි වූ බවය.
එම ප්‍රදේශයේ ගම්මාන රැසක් ජලයෙන් යටවී ඇති අතර, ටිබෙට් සහ නේපාලය අතර දේශසීමාවේ දෙපසින්ම සෝදිසි මෙහෙයුම් සහ මුදා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබේ.
මේ තත්ත්වය ටිබෙට් දේශයටත් දරුණු හානි සිදුකර ඇති අතර, චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇත්තේ විශාල පිරිසකට ජීවිත හානි සිදුවී ඇති බවය. ටිබෙට් දේශයේ අතුරුදන්වූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසත්, හදිසි ආපදා වැළැක්වීම සඳහා නිරීක්ෂණ හා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පින් බලධාරින්ට උපදෙස් දී තිබේ. චීන පාලනයේ පවතින ටිබෙට් දේශයේ විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා එරට රජය කඩිනමින් සහන කණ්ඩායම් යොමු කර ඇතැයි ද වාර්තා වේ. ගංවතුරට හසුවූ ප්‍රදේශයෙන් ඊයේ දහවල් වන විට පුද්ගලයන් 88 දෙනකු මුදා ගැනීමට නේපාල ආපදා මෙහෙයුම් කණ්ඩායම් සමත් වී තිබේ. නිවාස, ගොඩනැඟිලි, පාලම් හා මහාමාර්ග රැසක් විනාශ වී ඇති බවත්, රසුවා ප්‍රදේශයේ සිට කත්මණ්ඩු අගනුවර දක්වා ඇති ප්‍රධාන මාර්ගය නාය යෑම් හේතුවෙන් වසා දැමීමට සිදුවී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි. මෙහෙයුම් සඳහා නේපාල හමුදාවේ හෙලිකොප්ටර් යානා 12ක් යොදවා ඇති අතර ආරක්ෂක අංශ නිලධාරින් 500කට අධික පිරිසක් එක්වී සිටින බව වාර්තා වෙයි. පිටරා ගලා යන ගංගාව දෙපස පදිංචිකරුවන්ට වහාම එම ස්ථානවලින් ඉවත්වන ලෙස බලධාරින් දැනුම් දී තිබේ.
නේපාලයේ අගමැති බාලේන්ද්‍ර ෂා සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කර ඇත්තේ වෛද්‍ය කණ්ඩායම්, බාලදක්ෂ භට පිරිස් සහ රතුකුරුස සංවිධානය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව කඩිනම් පියවර ගනිමින් සිටින බවය. තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා අගමැතිවරයා, රජයේ ප්‍රධානීන්ගේ හදිසි රැස්වීමක් ද පැවති බව වාර්තා වේ.
විදුලි බලාගාර ව්‍යාපෘතියක උමඟක් තුළ සිටි තවත් 60ක් ගැන තොරතුරක් නෑ
ගංවතුරට හසුවූ ප්‍රදේශයේ පිහිටි මෙගාවොට් 20ක ධාරිතාවකින් යුතු ලැංග්ටැංග් කෝලා ජලවිදුලි ව්‍යාපෘතියේ සේවයට එක්වී සිටි පුද්ගලයන් 60 දෙනකු ද අතුරුදන්වී ඇතැයි නේපාලයේ කත්මණ්ඩු පෝස්ට් පුවත් සේවය වාර්තා කළේය. එම ව්‍යාපෘතිය භාර නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ ගංවතුර හටගත් අවස්ථාවේදී ඔවුන් සියලුදෙනාම එම ව්‍යාපෘතියේ උමඟක් තුළ සේවය කරමින් සිටි බවය. ඒ අතර ඉංජිනේරුවරුන් 25 දෙනකු ද සිටින බව වාර්තා වේ. එම ජලවිදුලි ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කර තිබූ බවත්, තවත් දින දෙකකින් එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. රසූගා රේගු කාර්යාලයේ නිලධාරින් 15 දෙනකු ද අතුරුදන් වී ඇතැයි එම රේගු කාර්යාලයේ ප්‍රධානියා තහවුරු කර තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

