මාක්ස් සහ එංගල්ස් හමුවූ ඒ අගෝස්තු සැන්දෑව…
(ගාමිණී මුතුකුමාරණ)
1844 අගෝස්තු 28 වැනිදා පැරීසියේ අහසෙහි එදා වැස්සක් තිබුණාදැයි ඉතිහාසය අපට නිශ්චිතව නොකියයි. එහෙත් වෙනදා මෙන්ම පැරීසියේ වීදිවල අශ්ව කරත්ත දිව යන්නට ඇත. වෙළෙන්දන්ගේ හඬ වීදි පුරා විසිරෙන්නට ඇත. කුඩා කඩවල දොරවල් ඇරෙන්නටත් වැසෙන්නටත් ඇත. ඒ අතර, පැරණි Café de la Régence එක තුළ නම් වෙනමම ලෝකයක් තිබුණා විය හැකිය. දුම්වලින් බර වූ වාතය, කෝපි සුවඳ, චෙස් පුවරු මත ඉත්තන් ගැටෙන සිහින් හඬ, සහ ලෝකය වෙනස් කළ හැකිදැයි තර්ක කරන මිනිසුන්ගේ පහත් හඬවල්… වෝල්ටෙයාර්ලා, රූසෝලා වාඩි වූ මේසවල පැරණි සිතුවිලිවල සෙවණැලි තවමත් සැරිසරන්නට ඇත.
ඒ කැෆේ එකේ දුම් දමන කෝපි කෝප්ප දෙකක් අතරින් එකිනෙකාට මුහුණලා වාඩි වූ තරුණයන් දෙදෙනෙකි. ඔවුන් එදා හමු වුනේ පළමු වරටම නොවේ. එහෙත් මෙදින හමුවීමේ විශේෂිතයක් තිබිණ. මාක්ස් සහ එංගල්ස් මීට පෙර, 1842 දී, Rheinische Zeitung පුවත්පතේ කාර්යාලයේදී එකිනෙකා දැක තිබුණි. නමුත් ඒ හමුවීම උණුසුම් මිත්‍රත්වයක ආරම්භයක් වූයේ නැත. එකිනෙකා ගැන දුරස්ථභාවය ඒ මොහොතේ ඔවුන් අතර තිබුණි. සමහර හමුවීම් එසේය.
ඒ පළමු හමුවීමෙන් පසු ඔවුන් දෙදෙනා දුරස්ථ නගර දෙකක සිටියද, ඔවුන්ගේ සිතුවිලි නම් සෙමින් එකිනෙකා වෙත ගමන් කරමින් තිබුණි. ලිපි අතරින්, වචන අතරින්, ප්‍රශ්න අතරින්… එංගල්ස් යුරෝපයේ කර්මාන්තශාලා ලෝකය තුළින් දැකගත් දුක්ඛිත යථාර්ථය ලියා යැවීය. මාක්ස් ඒ වචන අතරින් මිනිසාගේ ජීවිතය පාලනය කරන සමාජ බලවේග සොයමින් සිටියේය. එක් අයෙකු ලෝකය දුටුවේය. අනෙකා එය කියවීමට උත්සාහ කළේය. ඔවුන් තවමත් එකම මේසයක වාඩි වී නොසිටියත්, ඔවුන්ගේ ප්‍රශ්න එකම දිශාවකට ගමන් කරමින් තිබුණි. ඒ නිසා පැරීසියේ සිදුවූ හමුවීම හදිසියේ උපන් දෙයක් නොවීය. එය කලක් තිස්සේ ලිපිවලින්, අදහස්වලින් සහ එකම සත්‍යයක් සොයමින් සිටි මනස් දෙකකින් සෙමින් පැළවෙමින් තිබූ බීජයක පළමු මල් පිපීමක් විය.
එදා මාක්ස්ට වයස අවුරුදු විසිහයක් පමණය. එංගල්ස් විසිතුන් හැවිරිදිය. දෙදෙනාම තරුණයෝය. එහෙත් ඔවුන් ජීවත් වූ යුරෝපය තරුණයන්ට සිහින දකින්නට ඉඩ දෙන තරම් සන්සුන් ලෝකයක් නොවීය. කර්මාන්තශාලා නගරවල යන්ත්‍ර දිවා රෑ නොනැවතී ගැහුණි. ඒ යන්ත්‍රවල ශබ්දය යටින්, මිනිසුන්ගේ ජීවිත නිහඬව පොඩි වෙමින් තිබුණි.
එංගල්ස් මැන්චෙස්ටර්හිදී ඒ ලෝකය ඇතුළතින් දැක තිබුණි.
“මම කර්මාන්තශාලා දැක්කා, කාල්…” ඔහු සෙමින් කීවා විය හැකිය.
මාක්ස් ඔහු දෙස බැලුවේය. “ඒවායේ මොනවද දැක්කේ?”
“යන්ත්‍ර නෙවෙයි.” එංගල්ස් මොහොතක් නිහඬ විය. “වැඩ කරන මිනිස්සු…”
“කර්මාන්තශාලාවල වැඩ කළ දරුවන්. දිගු පැය ගණනක් වැඩ කළ කාන්තාවන්. දුමෙන් සහ දූවිල්ලෙන් පිරුණු වාතය. කම්කරුවන්ගේ දුප්පත් නිවාස. වැඩ නොකළහොත් බඩගින්නේ සිටීමට සිදුවන ජීවිත…”
“අපි මේ ලෝකය ගැන කතා කරන විදිහ වෙනස් කරන්න ඕන.”
“ලෝකය තේරුම් ගන්න එක විතරක් ප්‍රමාණවත් නැහැ.”
“එහෙනම්?”
මාක්ස්ගේ දෑස් කවුළුවෙන් පිටතට ගියේය. “ඒක වෙනස් කරන්නත් ඕන.”

එදා පැරිසියේ Café de la Régence අවන්හලේදී ඒ වචන ඇත්තටම ඔවුන් අතර එලෙසම හුවමාරු වූවාදැයි අපි නොදනිමු. නමුත් ඔවුන්ගේ පසුකාලීන ලියවිලි දෙස බැලූ විට, ඔවුන්ගේ සිතුවිලි ගමන් කළ දිශාව ඒ වචනවලින් හොඳින් කියැවෙයි. ඒ කෝපි මේසය මත, දර්ශනය පොත් පිටුවලින් සෙමින් බිමට බැස, ජීවිතය දෙස බලන්නට පටන් ගත්තා වැනිය. ලෝකය ගැන සිතීම පමණක් නොව, ලෝකය වෙනස් කිරීමට මිනිසාට ඇති හැකියාව ගැනද ඔවුන් සිතන්නට පටන් ගත්හ. ඉතිහාසය යනු රජවරුන්ගේ නම් සහ යුද්ධවල දිනයන් පමණක් නොව, වැඩ කරන මිනිසුන්ගේ ජීවිත, ඔවුන්ගේ ශ්‍රමය, ඔවුන්ගේ දුක සහ ඔවුන් අතර ඇති බල සම්බන්ධතා ද බව ඔවුන්ගේ සිතුවිලි තුළ තව තවත් පැහැදිලි වෙමින් තිබුණි.
මාක්ස් පොත් අතරින් ඒ ලෝකයේ සැඟවුණු රටාව සොයද්දී, එංගල්ස් කර්මාන්තශාලා අතරින් ඒ රටාවේ මිනිස් මුහුණ දුටුවේය. ඉන්පසුව ඔවුන් එක්ව ලියූහ. අවසානයේ, 1848 දී The Communist Manifesto (“කොමියුනිස්ට් ප්රකාශනය”) ලෙස කුඩා පොතක් පළමුව යුරෝපය පුරාත්, පසුව ලෝකය පුරාමත් හමා ගියේය.
“මෙතෙක් පැවැති සියලු සමාජයන්හි ඉතිහාසය යනු පන්ති අරගලයේ ඉතිහාසයයි.”
ඔවුන් එක්ව ලියූ ‘කොමියුනිස්ට් ප්රකාශනය’ හි ඇතුළත් වූ එම අමරණීය වදන, පැරිස් කොමියුනයේ සිට ලෝකය පුරා අසාධාරණයට එරෙහිව නැගී සිටි සෑම විප්ලවයකටම මාලිමාව විය. ඒ වාක්‍යය ලෝකය කියවීමට ඔවුන් ඉදිරිපත් කළ එක් යතුරක් විය. රජවරුන්ගේ ඉතිහාසයට අමතරව කම්කරුවන්ගේ ඉතිහාසයද දැකීමට, මාලිගාවලට අමතරව කර්මාන්තශාලා සහ පතල් දෙසද බැලීමට, ධනය උපදවන අත් දෙසත් ඒ ධනය අයිති කරගන්නා අත් දෙසත් එකවර බැලීමට එය මිනිසුන්ට ආරාධනා කළේය. කාලය ගෙවුණි. ඔවුන්ගේ අදහස් ලෝකය පුරා ගමන් කළේය. එදා ඔවුන් දුටු ලෝකයට වඩා වර්තමාන ලෝකය වෙනස්ය. කර්මාන්තශාලා වෙනස් වී ඇත. යන්ත්‍ර වෙනස් වී ඇත. වැඩ කරන ආකාරය වෙනස් වී ඇත. එහෙත් මිනිසාගේ ශ්‍රමය සහ ධනය අතර ඇති පැරණි ප්‍රශ්න සියල්ලම අතුරුදන් වී තිබේද?
අද අපේ අතේ ස්මාර්ට් දුරකථන ඇත. රොබෝවරු වැඩබිම්වලට පැමිණෙති. කෘත්‍රිම බුද්ධිය මිනිස් ශ්‍රමයේ සීමා නැවත අර්ථකථනය කරමින් සිටී. ලෝකයේ එක් කොනක ධනය අතිවිශාල ලෙස එකතු වෙද්දී, තවත් කොනක මිනිසුන් තම දෛනික ජීවිතය ගැටගසා ගැනීමට වෙහෙසෙති. එසේ නම්, 1844 දී පැරීසියේ Café de la Régence කැෆේ මේසයේදී ඇසුණු ප්‍රශ්න සියල්ල අවසන් වී ඇතැයි අපට කිව හැකිද? නැත. ප්‍රශ්න කිරීමේ ධෛර්යය තවමත් අපට අවශ්‍යය.
ඒ නිසා මම සමහරවිට ඒ අගෝස්තු සැන්දෑව මෙසේ සිතමි. කැෆේ එක තුළ චෙස් ඉත්තෝ තවමත් සෙමින් ගමන් කරමින් සිටියහ. කෝපි කෝප්ප දෙකකින් තවමත් උණුසුම් දුමක් නැඟෙමින් තිබුණි. පැරීසියේ රාත්‍රිය සෙමින් නගරය වසා ගනිමින් තිබුණි. මාක්ස් සහ එංගල්ස් තවමත් කතා කරමින් සිටියහ….

ඔවුන් ඉදිරියේ තිබූ ලෝකය එදා ඔවුන්ට වඩා විශාල විය. ඔවුන්ට තමන්ගේ වචන කොපමණ දුරක් ගමන් කරනු ඇත්දැයි දැනගත නොහැකි විය. එහෙත් ඔවුන් දැන සිටියේ එක් දෙයක් පමණි. ලෝකය එසේම තිබිය යුතු නැත. ඒ අදහසම ප්‍රමාණවත් විය. මන්ද ඉතිහාසය වෙනස් කරන්නේ සෑම විටම අනාගතය දන්නා මිනිසුන් නොවේ. එය වෙනස් කරන්නේ…
“වෙනස් අනාගතයක් සිතාගැනීමට තරම් නිර්භීත මිනිසුන් පමණි.”
වසර 182 කට පසුව, අදටත් අප ජීවත් වන්නේ ධනය අතලොස්සක් අත රැඳීම, අසමානතාවය හමුවේ ලෝකය අර්බුදයට ලක්වීම සහ ලෝකයම බරපතළ පරිසර විනාශයකට පත් වෙමින් තිබෙන යුගයකය. එදා පැරිස් කැෆේහලේ කෝපි කෝප්පයක් හමුවේ ඇරඹි ඒ ඓතිහාසික සංවාදය අදටත් අවසන් වී නැත. එය හුදෙක් අතීතයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු වන්දනාමාන කිරීමක් නොව, මිනිසා සැබෑ ලෙසම මිනිසා බවට පත්කිරීමේ නොනවතින අරගලයයි!
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

