නාවික හමුදා සාමාජිකයෝ 36 දෙනෙක් විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකායේ දසවන (10) බඳවා ගැනීමේ බළඇණි පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයින් තිස්තුන්දෙනෙකු (33) වෙත මැරීන් බළඇණි ලාංඡන පැළඳවීම ඊයේ (29) ත්‍රිකුණාමලය, සාම්පූර්හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති කපිතාන් රවිඳු හරිස්චන්ද්‍ර මහතාගේ ආරාධනයෙන් පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා සහභාගි විය.
මාස අටක කාලයක් පුරා පැවති අතිදුෂ්කර මැරීන් පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් එක් වූ නාවික හමුදා සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙම පාඨමාලාව ආරම්භ කර තිබූ අතර, එය සාර්ථකව නිම කළ නිලධාරීන් තිදෙනෙකු සහ නාවිකයින් 33 දෙනෙකු වෙත මෙලෙස මැරීන් බළඇණි ලාංඡන පැළඳවීම සිදු කෙරිණි.
පුහුණුව අතරතුර සුවිශේෂී දක්ෂතා දැක්වූ නාවික හමුදා සාමාජිකයින් වෙත කුසලාන ප්රදානය කිරීමද ප්‍රධාන ආරාධිතයා අතින් සිදු විය.
ඒ අනුව, දසවන මැරීන් බළඇණි පාඨමාලාවේ විශිෂ්ටතම මැරීන් සාමාජිකයා, සියලුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් සාමාජිකයා සහ දක්ෂතම ඉලක්කකරු ලෙස ලුතිනන් (සැ) විපීඒ සසංක මහතා කුසලාන හිමිකරගත් අතර, දක්ෂතම ශාරීරික යෝග්‍යතාව හිමි සාමාජිකයාට හිමි කුසලානය ශාරීරික අභ්‍යාසක ඩබ්.එම්.ජී.ඩී.පී. බණ්ඩාර මහතා විසින් හිමිකර ගන්නා ලදී.
මෙහිදී විසිර යන නාවික හමුදා සාමාජිකයින් අමතමින් රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ මහතා ඔවුන් වෙත සුභාශිංසන පිරිනැමූ අතර, පුහුණුවෙන් ලද පන්නරය උපයෝගී කර ගනිමින් මව්බිමේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමට දායක වන ලෙස අවධාරණය කළේය.
එමෙන්ම, රාජකාරි දිවියේදී මෙන්ම පෞද්ගලික දිවියේදීද ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට මෙම පුහුණුව උපයෝගී කර ගන්නා ලෙසත්, මව්බිමට එරෙහිව එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්ව සිටින ලෙසත් ඔහු සඳහන් කළේය.
සෑම විටම දැනුම හා පුහුණුව යාවත්කාලීන කර ගනිමින් නිරන්තර අවධානයෙන් රාජකාරි කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළ අතර, මෙම පුහුණුව සාර්ථකව නිම කිරීම සඳහා දායක වූ ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතනයේ ආඥාපති ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයට සිය ප්‍රණාමය පළ කළේය.
මෙම ලාංඡන පැළඳවීමේ අවස්ථාව නාවික හමුදා මැරීන් බළකායේ හැකියාවන් හා දක්ෂතාවන් විදහා දැක්වෙන ආකර්ෂණීය සංදර්ශනයකින්ද වර්ණවත් විය.
අධ්යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා රියර් අද්මිරාල් අචල සිල්වා, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් කුසල් දිසානායක, අධ්යක්ෂ මැරීන් කොමදෝරු සංජීව කොඩිකාර ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම විසිර ගිය නාවික හමුදා සාමාජිකයින්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

