Latestදේශීය

යාපහුවේ පුරාවිද්‍යා කැණීම්වලින් නව සාධක රැසක් මතු වෙයි

යාපහුව සංස්කෘතික උරුම කළමනාකරණ වැඩසටහන යටතේ සිදු කළ කැණීම්වලින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් මතු වී ඇති බවත්, එම සාධක පිළිබඳව තවදුරටත් විද්‍යාත්මක නිරීක්ෂණ හා පර්යේෂණ සිදුකරන බවත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.

යාපහුව පුරාවිද්‍යා භූමිය තුළ මෑතකදී සිදුකරන ලද කැණීම්වලින් අනාවරණය කරගත් පුරාවිද්‍යාත්මක සාධක නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පසුගියදා එක් වූ අතර, එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙම පුරාවිද්‍යාත්මක සාධකවල කාලනිර්ණය ඇතුළු විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනාගාර සහ විද්‍යාගාර පහසුකම් තවදුරටත් දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. ඒ සඳහා විදේශ ආධාර සහිතව නව රසායනාගාරයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී තිබේ.

පසුගියදා අභයගිරි පූජා භූමියෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා 19ක් සහ යටාල ප්‍රදේශයෙන් ඓතිහාසික චෛත්‍යයක්ද හමු වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, එම පුරාවිද්‍යාත්මක සාධක සම්බන්ධයෙන්ද තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ සහ නිරීක්ෂණ සිදුකරමින් ඒවායේ ඓතිහාසික වැදගත්කම තහවුරු කිරීමට කටයුතු කරන බව පැවසීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ අනුග්‍රහය සහ ප්‍රවීණ මහාචාර්යවරුන්ගේ දායකත්වය යටතේ ක්‍රියාත්මක වන යාපහුව උරුම සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ මෙම කැණීම් හා පර්යේෂණ කටයුතු සිදු කෙරේ.

මෙම නව කැණීම් මඟින් අනාවරණය කරගත් පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ මෙරට ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වී තිබේ.

අපේ උරුමය මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගීතා හේරත් මහත්මිය, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර මහතා, උප සභාපතිතුමිය ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මහාචාර්ය මංගල කටුගම්පොළ මහතා, මහාචාර්ය සමිත මානවඩු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *