Latestදේශීය

අපනයන ආදායම ඇ.ඩො. බිලියන 10 ඉක්මවයි

2026 වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10,487.80ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.5%ක වර්ධනයකි.

සමස්ත අපනයන ආදායම සඳහා ප්‍රධාන දායකත්වය භාණ්ඩ අපනයන අංශයෙන් ලැබී ඇති අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 8,188.32ක ආදායමක් උපයා තිබේ. එය පෙර වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 5.05%ක වර්ධනයක් බවද සභාපතිවරයා සඳහන් කළේය.

ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් වෙනස් වෙමින් පවතින පසුබිමක වුවද ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩව ශක්තිමත්භාවයක් පෙන්නුම් කිරීම මෙම වර්ධනය තුළින් පිළිබිඹු වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, සේවා අපනයන අංශයද අඛණ්ඩව ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, 2026 වසරේ පළමු මාස හත තුළ එම අංශයෙන් ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 2,299.48ක ආදායමක් උපයා තිබේ. එය පෙර වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව 7.02%ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත අපනයන අගයන්ට අනුව, 2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,285.31ක් වී තිබේ. එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 1.3%ක සුළු අඩුවීමකි.

කෙසේ වෙතත්, සේවා අපනයන අංශය 2026 ජූලි මාසයේදීද ධනාත්මක වර්ධනයක් වාර්තා කරමින් ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 351.92ක ආදායමක් උපයා ඇති අතර, එය පෙර වසරේ ජූලි මාසයට සාපේක්ෂව 3.75%ක වර්ධනයකි.

ඒ අනුව, භාණ්ඩ හා සේවා යන අංශ දෙකම ඇතුළත් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 ජූලි මාසයේදී ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් මිලියන 1,637.26ක් දක්වා ළඟා වී ඇති අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 2.63%ක වර්ධනයකි.

ගෝලීය වෙළෙඳ පරිසරය තුළ පවතින අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද ශ්‍රී ලාංකික අපනයනකරුවන් නව අවස්ථා හඳුනා ගනිමින් වෙනස් වන වෙළෙඳපොළ තත්ත්වයන්ට හැඩගැසෙමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ සාර්ථකව තරඟ කරන බව මෙම වර්ධනයෙන් තහවුරු වන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

පවතින අපනයන අංශවල තරඟකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරන අතරම නව නිෂ්පාදන, සේවා සහ වෙළෙඳපොළ සංවර්ධනය කිරීම වේගවත් කරමින් මෙම වර්ධන වේගය තවදුරටත් ඉදිරියට ගෙන යාම වත්මන් ප්‍රමුඛතාව විය යුතු බවද ඔහු අවධාරණය කළේය.

තිරසාර අපනයන වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ඉහළ අගය එකතු කිරීම, නවෝත්පාදනය, තාක්ෂණය වැළඳගැනීම, වෙළෙඳපොළ විවිධාංගීකරණය සහ ගෝලීය අගය දාමයන් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ව්‍යාපාර ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම වඩාත් විවිධාංගීකරණය වූ, තරඟකාරී සහ ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්, කර්මාන්ත සංගම් සහ රජයේ පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩව සමීපව කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *