Latestදේශීය

කෝටි 800ක මත්ද්‍රව්‍ය කොළඹ වරායෙන් සොයාගනී

මොරොක්කෝවට ප්‍රති නැව්ගත කිරීමේ මුවාවෙන් භාණ්ඩ තොගයක් සහිතව පාකිස්තානයේ සිට කොළඹ වරායට රැගෙන ආ බහලුමක සඟවා තිබූ රුපියල් කෝටි 800කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 475ක පමණ තොගයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (31) සොයා ගන්නා ලදී.

ප්‍රති නැව්ගත කිරීම සඳහා මෙම කන්ටේනරය කොළඹ වරාය තුළ තිබෙන අවස්ථාවේදී එහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගය පිටතට ගෙන රට තුළට රැගෙන ඒමේ සූදානමක් තිබී ඇතැයි ලද තොරතුරකට අනුව මෙම බහලුම පරීක්ෂා කළ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම කළ බවත්, කිලෝ 500ක අයිස් ඇති බවට තොරතුරුකරු පවසා තිබූ බවත් එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පැවසීය.

වෙනත් කිසිදු පොලිස් අංශයකට හෝ රේගුවට දැන ගැනීමට ඉඩ නොතබමින් පරීක්ෂා කිරීම සිදු කරන ලෙස තොරතුරුකරු විශේෂ ඉල්ලීමක් කර ඇති බැවින්, සියලු කටයුතු රහසිගතව සිදු කරමින් අධිකරණ නියෝගයක් ලබාගෙන කන්ටේනරය විවෘත කිරීමේ කටයුත්තේදී පමණක් රේගුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සහය ලබාගෙන ඇති බව ආරංචිමාර්ග අනාවරණය කරයි.

මුහුදු මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ගෙන ඒමේ වැටලීම් පොලීසිය සහ නාවික හමුදාව එක්ව තීව්‍ර කර ඇති බැවින් මේ ආකාරයට කන්ටේනර්වල බහා මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ඒමට කටයුතු කරන බවත්, ඊට ඇතැම් දූෂිත නිලධාරීන්ගේ සහය ලැබෙන බවටද තොරතුරු අනාවරණය වෙමින් පවතින බැවින් ඒ ගැනද විමර්ශන පවත්වන බවත් උසස් නිලධාරියකු කීවේය.

කන්ටේනර් දෙකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර, එක් කන්ටේනරයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් කන්ටේනරය ගෙන්වූ බවට සැකපිට කොළඹ මැලිබන් වීදියේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ බවට පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සිවුදෙනෙකු ද ඊයේ දිනම අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්වී තිබේ. මෙම ජාවාරම ගැන දැන සිටි වාප්පු ලිපිකරුවකු අත්අඩංගුවට ගැනීමට වැටලීමේදී ඔහු පැනගොස් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරවී තිබේ. පාකිස්තානයේ සිට මෙම සැක සහිත කන්ටේනර් දෙක රැගත් නැව මෙරටට පැමිණ ඇත්තේ ජූනි මස 27 වැනිදාය. මෙම කන්ටේනර් දෙක සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආවේ කවුරුන්ද යන්න සහ ලංකාවට ගෙන ඒමට ආධාර අනුබල දුන් අය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව සිදු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කීවේය.

මුහුදු මාර්ගයෙන් විශාල ලෙස මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයන් පසුගිය මාස තුන හතරක කාලය තුළ අත්අඩංගුවට ගත් බවත්, එම නිසා මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම නතර වී තිබූ බවත් කී ඒ මහතා, මේ නිසා මෙලෙස විකල්ප මාර්ග මඟින් මත්ද්‍රව්‍ය ගෙන එන බවද පැවසීය.

බහලුම් පරීක්ෂා කිරීමට වැඩි වෙහෙසක් දැරූ බවත්, සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් හෙතෙම කියා සිටියේය. පසුගිය මාස කිහිපය තුළ මත්ද්‍රව්‍ය කිලෝ 18,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පුද්ගලයන් 260,000ක් පමණ අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීවේය.

සැක සහිත කන්ටේනර් දෙක සම්බන්ධයෙන් පසුගියදා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන, අපරාධ දිශාව නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු, රථවාහන සහ අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කොළඹ මධ්‍යම අපරාධ කාර්යාංශයේ අධ්‍යක්ෂ කමල් ආරියවංශ යන මහත්වරු මෙම බහලුම් පරීක්ෂා කරන අවස්ථාවට එක්ව සිටියහ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *